ලංකාවේ පාපන්දුවට ලෝකය තහනම්

ලංකාවේ පාපන්දුවට ලෝකය තහනම්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අහෝසි කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත. හිටපු මහ ලේකම්වරයාගේ නමට තහනම් කිරීමේ ලිපිය යොමුකර ඇත්තේ පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිනොගන්නා බැවින් යැයිද වාර්තා වේ.

පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

එම තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිදු තරඟාවලියකට සහභාගී වීමට හැකිවන්නේ නැත.

Facebook
Twitter
LinkedIn