ජනතාව විසින් පලවා හරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ වෙනුවෙන් විශ්‍රාම වැටුප් සහ අනිකුත් පහසුකම් ලබාදීම සඳහා මෙම වර්ෂය වෙනුවෙන් රුපියල් එක් කෝටි හතලිස් එක් ලක්ෂ හැත්තෑ දහසක (රු. 14,170,000) මුදලක් වෙන් කර ඇති අතර එය නීත්‍යානුකූල දැයි බරපතල සංවාදයක් නීති අංශවල මතු වී තිබේ.
විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි වැටුප් සහ අනිකුත් වරප්‍රසාද ලබාගැනීම සඳහා අදාළ නිශ්චිත ධූර කාලය සම්පූර්ණ නොකර තිබීමත්, ජනතාව විසින් තම පරමාධිපත්‍ය බලය යොදවා ජනාධිපති ධුරයෙන් පලවා හැරීමත් යන කරුණු මුල් කරගෙන නීති ක්ෂේත්‍රයේ සංවාදයක් මතුව ඇත.
රනිල් වික්‍රමසිංහ විසින් මෙම වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය මගින් මෙම මුදල් වෙන් කර තිබේ. වාර්ෂික විශ්‍රාම වැටුප් ලෙස ගෝටාබය රාජපක්ෂට රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑ දහසක (රු. 1,170,000) මුදලක් වෙන් කර ඇති අතර ගොඩනැගිලි සහ ඉදිකිරීම් යනුවෙන් රුපියල් ලක්ෂ 10ක්ද වාහන වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක්ද වෙන් කර ඇත. එසේම වෙනත් යනුවෙන් සඳහන් කරමින් තවත් රුපියල් කෝටියක් වෙන් කර ඇත.










