පුංචි ආණ්ඩු ඡන්දෙට එරෙහි වූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් තුනක්…

පුංචි ආණ්ඩු ඡන්දෙට එරෙහි වූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් තුනක්…

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් තුනක් ගොණුකර තිබේ.

එම අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

එමෙන්ම අදාළ පෙත්සම පවත්වාගෙන යාම සඳහා සාධාරණ නීතිමය පදනමක් පවතින බව තහවුරු කිරීමට පෙත්සම්කරු අසමත් වී තිබෙන බවද අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ වැරදි සහගත සහ නොමඟ යවන සුළු තොරතුරු අදාළ පෙත්සම තුළින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.

එබැවින් අදාළ පෙත්සම සදහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්