මහා මැතිවරණයකින් නිවැරදි කණ්ඩායමක් තෝරාගෙන ඒ කණ්ඩායම සමග ඉදිරියට යා යුතුයි – චින්තක බණ්ඩාර

මහා මැතිවරණයකින් නිවැරදි කණ්ඩායමක් තෝරාගෙන ඒ කණ්ඩායම සමග ඉදිරියට යා යුතුයි – චින්තක බණ්ඩාර

මහා මැතිවරණයකින් නිවැරදි කණ්ඩායමක් තෝරාගෙන ඒ කණ්ඩායම සමග ඉදිරියට යා යුතුයි යැයි ඒකාබද්ධ සටන් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“අපි මේ මොහොත වනවිට ලෝකයේ දුකසේ ජීවත්වන රටක පුරවැසියෝ. පසුගිය අප්‍රේල් 09 වැනිදා ගොවියේ, ධීවරයෝ, වෘත්තිකයෝ, තරුණ ප‍්‍රජාව සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එළියට බැහැලා අධම පාලනයක් නිම කරන්න අරගලය පටන් ගත්තා. නව චින්තනයක් රට තුළ බිහිකරලා ජනතාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඒ හැමෝම බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු පැත්තකට දමා පාලනය අතට ගත් රනිල් වික‍්‍රමසිංහ මේ රට අරාජික දේශයක් කරා ගෙනයනවා.

ආහාර හිඟය, ඉන්ධන හිඟය ඇතුළුව සියලුම අංශවල රටේ බිඳ වැටීම නතර කරන්න රනිල් වික‍්‍රමසිංහට හැකි වුණේ නැහැ. මාස ගණනාවක් තිස්සේ ණය ගෙවීම අත්හිටුවා තිබුණත් ණය ගෙවීම නැවත පටන්ගත් වහාම පෝලිම් යුගයට යන්න වෙනවා. ඊට විකල්ප හැටියට රටේ පොදු දේපළ විකුණමින් ඉදිරියට යන රටාවක් රනිල් වික‍්‍රමසිංහ ගෙනයනවා. රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදුකර, එළියට ඇදදමන තත්වයට පත්කරලා තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන් එළියට දමමින් සිටිනවා.

මේ තත්වය තුළ රටක් හැටියට නැවත නැගී සිටින්නට නම්, මහා මැතිවරණයකින් නිවැරදි කණ්ඩායමක් තෝරාගෙන ඒ කණ්ඩායම සමග ඉදිරියට යාම අපි තෝරා ගත යුතුයි. ඒ සඳහා එක්වන ලෙස සමස්ත රට වැසියන්ට ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn