ප්රමෝෂන්වලට මුවාවෙලා හෘදසාක්ෂිය යටපත් කරන්න ලැහැස්තිවෙන්න එපා යැයි තමන් පොලීසියට අවධාරණය කරන බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි.
ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,
“පපුවට ගහගෙන පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම ගැන කියූ බොරු දේශප්‍රේමිත්වයට අභියෝග කරමින් සටන්කාමීන් හයිඩ්පිටියට රැස්වී සිටිනවා. අපි හදවතින්ම වැළඳ ගත් ගාලුමුවදොර අරගලයේ නියෝජිතයෙක් ලෙස ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම භාග්‍යයක්. ඒ අරගලය ජන අරගලයක් දක්වා ඔසවා තැබුයේ වෘත්තීය සමිති ප්‍රජාව කියන එක පැහැදිලිව අපි කියනවා. අරගලය ඔසවා තැබූ හැම අවස්ථාවකදීම හදවතින්ම බද්ධ වූ සියලූ දෙනා රට වෙනුවෙන් හදවතින්ම සටන් කරන සටන්කාමීන්.
අරගලය ජීවමානයි කියන සාක්ෂියක් අද හයිඩිපිටියෙන් ඉතිහාසයට එක්වෙනවා. මේ මජර පාලනයට පරිස්සම් වෙන්න කියලා පැහැදිලි පණිවිඩයක් අරගලයේ මේ ජීවමාන රැලියෙන් ලබාදෙනවා.
පාලකයන් මහජනතාවට පහර දෙන විට හැමදාමත් ඉවසාගෙන ඉන්නේ නැහැ. මැයි 09වෙනිදා ඒ බව ගාලුමුවදොර පිටියේදී සමස්ත රටේදීමත් පෙන්වා දුන්නා. ඒ බව ජූලි 09 වැනිදා නැවත වරක් ප්රත්යක්ෂ කළා. මජර දේශපාලකයන් පොලීසිය හමුදාව යොදවා පහර දෙන විට හැමදාමත් ඉවසාගෙන ඉන්න නිවටයන් මේ රටේ නැහැ කියන එක ඔප්පුකර තිබෙනවා.
අරගලය නැවත පණ ගන්වන සටන්කාමී පිරිසක් හයිඩ්පිටියට එකතු වී සිටිනවා. ජනතාවට පහරදෙන විට පෙරළා පහර දෙන්න ජනතාව පටන් ගතහොත් මේ රටේ ඉන්න තැනක් පාලකයන්ට නැතිවෙන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. අරගලකරුවන් සෙල්ෆියක් ගැහුවාම කුදලාගෙන ආවත් යාල ජාතික වනෝද්‍යානය තුළ මහ විනාශයක් කළ ඇමතියාගේ පුතාව සොයා ගන්න පොලීසියට බැරවී තිබෙනවා. ප්රමෝෂන්වලට මුවාවෙලා හෘද සාක්ෂිය යටපත් කරන්න ලැහැස්තිවෙන්න එපා කියලා පොලීසියට අවධාරණය කරනවා.
මුළු රටක ජනතාවට නොකා නොබී නිදාගන්න බැරි තැනට පත්කළ කබ්රාල්ට හොඳට නින්ද යන බව කියනවා. උඹලා රටේ තිබුණු අන්තිම ඩොලරයත් කොල්ල කෑවට පස්සේ නින්ද යන්නේ නැත්නම් තමයි ප්‍රශ්නයක් තිබෙන්නේ. ආර්ථික අපරාධකාරයෝ අධිකරණයක් ඉදිරියට ගෙනත් කොල්ල කෑ සියලු දේවල් නැවත අත්පත් කර ගන්නා පාලනයක් දිනාගන්න අපි එකා වගේ කැපවෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් නව ජනවරමකට ඉඩ ලබාගැනීම දක්වා අපි මේ අරගලය ඉදිරියට අරගෙන යනවා. ජනතාවට වගකියන ජනතාවගේ පාලනයක් දක්වා මේ අරගලය ඉදිරියට ගෙන යනවා.”










