ශ්‍රී ලාංකික අපි හැමෝම නව ජනතා සම්මුතියක් සඳහා එකට එක්වී අරගල කරමු යැයි ජීවන්ත පීරිස් පියතුමෝ සඳහන් කරති.
පියතුමෝ මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් එක්වෙමිණි.
එහිදී ජීවන්ත පීරිස් පියතුමෝ වැඩිදුරටත් දැක්වූ අදහස්,
“පසුගිය අවුරුදු 74 පුරාම අපිව පාගන්න බලයට පත්වුණේ සල්ලිවලට ගන්න පුළුවන් දූෂිතයන් බව අපි තේරුම් අරගන ඉවරයි. සිරිධම්ම හාමුදුරුවන්ව බලන්න මහ ඉස්පිරිතාලයට මම ගියා. අවුරුදු 25ක වගේ ස්වාමීන් වහන්සේ නමකට ඩෙංගු හැදිලා ඇඳේ ඉන්න අතරේ තුවක්කු මානාගෙන රැකවල්කරන්නේ ත්රස්තවාදීන් කියලා දැයි මම ප්‍රශ්න කරනවා. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ අපි හැමෝම එකතු වෙලා කළ මහා අරගලයේ කොටස්කරුවන් දෙදෙනෙකු විතරයි.
පරමාධිපත්‍යය ජනතාවගේ උරුමයක්. ඒ මහා බලය අපි ලබාගත යුතුයි. බයවෙලා යටවෙලා ඉන්න බැහැ. පසුගිය අවුරුදු හතළිහක් පුරාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උතුරේ දමිළ සහෝදරවරුන් මර්දනය කළා. මුස්ලිම් යටපත් කළා. අද ඔබ අපි හැමෝම මර්දනය කරන්න උත්සාහ කරනවා. මේ මර්දනයට එරෙහිව අපි නැගිටිමු.
අපි ඉදිරිපත් කළ ගාලු මුවදොර ක්‍රියාකාරී සැලැස්ම සමගම නැවතත් අපි කියන්නේ දූෂිත මේ හොර නඩය පළවා හැරිය යුතු බවයි. ඒ උදෙසා අරගලය අඛණ්ඩව අපි දියත් කරනවා. මැතිවරණයක් තුළින් නව ජනතා පාලනයක් දිනා ගැනීමට පෙළ ගැසෙමු. ජනතාවගේ සක්‍රීය දායකත්වය ඍජුව ලබාගන්නා මහජන කවුන්සිලය දිනාගැනීම දක්වා අපි පෙළ ගැසෙමු. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන තුරු එකට සටන් කරමු. යටත් විජිත මානසිකත්වයෙන් නිදහස් වී පුරවැසියන් බිහි කිරීමේ ශ්‍රී ලාංකික අපි හැමෝම නව ජනතා සම්මුතියක් සඳහා එකට එක්වී අරගල කරමු.”










