ජනතාවාදී පාලනයට පෙළ ගැසෙන්නැයි 56%ක ඡන්ද බලයක් තිබෙන කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.
ඇය මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් ඇය දැක්වූ අදහස්,
“රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ආමන්ත්‍රණය කරන්න විශේෂයෙන්ම මම මේ අවස්ථාව යොදා ගන්නවා. කාන්තාවන් ආර්ථිකයේ කොඳු නාරටිය කියන්නේ විදේශ ශ්‍රමිකයන්, ඇඟලුම් ක්ෂේත්රය, වතු කම්කරු ක්ෂේත්රය කියන සියලු ක්ෂේත්රවල කටයුතු කිරීම නිසයි. නමුත් අද ආර්ථික කඩා වැටීමේ මූලික ගොදුර බවට පත්වෙලා තිබෙන්නෙත් මේ කාන්තාවන්.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් අයෙකුට රුපියල් 13,460කින් මාසයක් ජීවත් විය හැකි බව කියනවා. මේ සංඛ්‍යා ලේඛන හදන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. අඩුම ගණනේ ලයිට් බිලවත් ගෙවා ගන්න බැහැ. රටට ඩොලර් ගෙනෙන කාන්තාවෝ මේ ප්‍රශ්නවලින් මුලින්ම බැට කනවා. අනිත් පැත්තෙන් කාන්තාවන්ගේ ශ්‍රමය නිවෙස් තුළ සඟවා තිබෙනවා. උදේ සිට රෑ වෙන තුරු ඔවුන් කරන ක්‍රියාකාරිත්වය ආර්ථික වැදගත්කමක් නැති තත්වයට පත්කර තිබෙනවා.
රටට ඩොලර් උපයන කාන්තාවන් ප්‍රමාණය 56%ක්. පසුගිය අරගල කාලයේ කාන්තාවන් ලබාදුන් දායකත්වය ඉදිරියටත් අවශ්‍ය වෙනවා. කාන්තාවන් කතා කරන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කුමන භාෂාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉන්නේ කොළඹද යාපනයේද වෙනත් තැනකද කියලා අපට ප්‍රශ්නයක් නැහැ. 56%ක ඡන්ද බලයක් තිබෙන කාන්තා අපි හැමෝම එකතු වෙලා රනිල් රාජපක්ෂලා පළවා හැර ඊළඟ ජනතාවාදී පාලනයට පෙළ ගැසෙන්න කියලා ඉල්ලා සිටිනවා.”










