25 පස්වරුවේ අර්ධ සූර්යග්‍රහණයක්

25 පස්වරුවේ අර්ධ සූර්යග්‍රහණයක්

2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයටය.

මෙම සූර්යග්‍රහණය සම්බන්දයෙන් අදහස් දක්වන මහාචාර්ය චන්දන ජයරත්න,

“පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.

යාපනය නගරයට අර්ධ සූර්යග්‍රහණය පස්වරු 5.27 සිට නිරීක්ෂණය කළ හැකි අතර උපරිම අවස්ථාව පස්වරු 5.46ටද සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8%ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. සූර්‍යග්‍රහණය අවසානය පස්වරු 6.20ට සිදුවන මුත් යාපනයට හිරු බැසයාම පස්වරු පස්වරු 5.49ට සිදුවන නිසා සූරාග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22ක පමන කාලයක් යාපනයට දිස්වේ.

කොළඹ නගරයට අර්ධ සූර්යග්‍රහණය පස්වරු 5:43සිට නිරීක්ෂණය කළ හැකි අතර උපරිම සූර්යග්‍රහණ අවධිය පස්වරු 5:49ට සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6%ක් පමණ සුලු ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට හිරු බැසයාම පස්වරු පස්වරු 5:52ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 09ක පමන කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.”

හිරු බැසයාමට ඉතා අසන්නේ පිහිටන සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින් සූර්ය පෙරහණක් නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30ක පමණ කාලයක් එදෙස බලා සිටියාට ඇස්වලට හානියක් සිදුනොවනු ඇති බවද මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. නැවතත් මෙවැනි සූර්යග්‍රහණයක් ලංකාවට දිස්වනුයේ වසර 05කට පසුව එනම් 2027 අගොස්තු 02දා බවද ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn