වත්ම්න ආණ්ඩුව වැඩ කරමින් ඉන්නේ “කම්මලේ බල්ල වගේ” යැයිද දැවැන්ත විරෝධතා පවත්වමින් රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට දෙස් දෙවොල් තියද්දිත් කිසිම ලජ්ජාවක් නොමැතිව පුරසාරම් කියමින් ඉන්නා ආණ්ඩුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ලංකාදීප ඉරිදා පුවත්පතට මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාකදීය.
එම සාකච්ඡාව සම්පූර්ණයෙන් පහතින් පල වේ.
රට පුරා උද්ඝෝෂණ, විරෝධතා කොච්චර තිබුණත් ආණ්ඩුව වගේ වගක් නැතුව ඉන්නවා නේද?
දැන් මේ ආණ්ඩුව වැඩ කරන්නේ කම්මලේ බල්ල වගේ. දැවැන්ත විරෝධයන්ට මුහුණ දීලා ඒවයින් බැණුම් අහල රටේ ජනතාව දිනපතා දෙස් දෙවොල් තියද්දිත් කිසිම ලජ්ජාවක් නැතුව පුරසාරම් කිය කිය ඉන්න ආණ්ඩුවක්නෙ මේක. බලයට තියෙන කෑදරකම නිසාම බැණුම් අහ අහ ඇදගෙන යනවා. මේ ගොල්ලො විරෝධයන් ආවා කියල ලේසියෙන් බලය අත අරින්න සුදානම් පිරිසක් නෙවෙයි. ඒ තරම් බලයට කෑදරයි. කොච්චර ලජ්ජ නැද්ද කියනව නම් අද වෙනකොට මහින්ද රාජපක්ෂට පුළුවන් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ දැන් හොඳයි කියල චරිත සහතික දෙන්න.
ආණ්ඩුව ජනතාවගේ විරෝධයන්ට ඇහුම්කන් නොදී හිතුවක්කාරී විදියට ආණ්ඩුව කරගෙන ගියත් ඒකෙ සීමාවක් තියෙනවා. කලින් වතාවෙත් පොඩි පොඩි උද්ඝෝෂණ කර කර ඉඳලා තමයි දැවැන්ත අරගලයක් කරලා හිටපු ජනාධිපතිල අගමැතිල පුටු වලින් බැස්සුවේ. දැන් මේ ආණ්ඩුවත් ජනතාවගේ උද්ඝෝෂණ නොසලකා ඉන්න එකෙන් සිද්ධ වෙන්නෙ කිසියම් වෙලාවක ආණ්ඩුව පරාජය කරන මට්ටමේ ජනතා රැල්ලක් මතුවෙන එක. ආණ්ඩුවට එදාට දණ ගහන්න වෙනවා. ඒ ජනතා පෙළගැහීම දැන් සිදුවෙමින් පවතිනවා.
ආණ්ඩුව දණ ගස්සන ඔය කියන ‘කිසියම් වෙලාව’ කවද්ද?
වෙලාව කියන්නේ නැකැත් බලල කරන එකක් නෙවෙයි. මේක ජනතාවගේ පොදු වුවමනාව. පහුගිය මැයි මාසෙ ජූනි මාසේ හිටපු පාලකයෝ පුටුවලින් බැස්සුවෙ කලින් දින දාගෙන නෙවෙයිනේ. ජනතා නැගිටීම් එහෙම තමයි. ස්වාභාවික ජනතා නැගිටීම් සිද්ධවෙන වෙලාව කලින් තීරණය කරන්න බැහැ. දැන් ඒ විරෝධයට ඕනෑ කරන සියල්ල සූදානම් මොහොතක්. ඒකට පසුබිම සැකසිලා තියෙන්නේ. ලොකු රැල්ලක් ඇවිත් හිටපු පාලකයෝ ගහගෙන ගියා. ඊළඟ රැල්ලට පොඩි කාලයක් යනවා. මේ ගෙවෙන්නේ ඒ කාලය. ඊළඟ රැල්ල ඉතාම නුදුරේ එනවා. අපි දන්නෑ ඒ රැල්ලට කවුරු කවුරු ගහගෙන යාවිද කියලා.
ජනතාව ඒ විදියට නැගිටිනකොට ආපහු පොහොට්ටුවෙ උදවිය මහින්දත් එක්ක නැගිටින්න හදනවා.
පොහොට්ටුවට මහින්ද එක්ක නම් ආපහු නැගිටින්න බැරිවෙයි. පොහොට්ටුවට නැගිටින්නත් බැහැ. මහින්දට නැගිටින්නත් බැහැනේ. 2015 මහින්ද රාජපක්ෂ පරාද වෙලා ගිනින් මැදමුලන ජනේලෙ එල්ලුණා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා මහින්ද සුළගත් එක්ක මහින්ද නැගිට්ටෙව්වා. හැබැයි දැන් රට පුරාම විශාල මහින්ද විරෝධයක් තියෙන වෙලාව. මහින්දලා නැතුව දේශපාලන පැවැත්මක් නැති කීප දෙනෙක් එකතුවෙලා මහින්ද සමග නැගිටිමු කියල කියනවා. ඒත් ඒක හරි යන කෙරුවාවක් නෙවෙයි. කළුතරදි අපි දැක්ක පිරිසක් හෝල් එකක දාගෙන රැස්වීමක් තිබ්බා. ඒකෙදි අපි දැක්කා මහින්ද රාජපක්ෂගෙ ස්වාභාවය. එයාට හරි සිහි කල්පනාව පවා නෑ කියල පෙනුණා. දැන් රටේ ජනාධිපති ගෝඨාභය කියලා එයා තාම හිතාගෙන ඉන්නේ. ඊට පස්සෙ කට්ටිය නාවලපිටියට ගියා. ඒකෙදි මහින්දට ලොකු විරෝධයක් එල්ල වුණා. ඒ පැත්තෙ මිනිස්සු තණකොළයි පුන්නක්කුයි පවා පාරවල් දෙපැත්තෙ තියලා තිබුණා. හට් එකක් ගහලා වටේට බට ගහලා මිනිස්සු ඒකට ගාල් කරලා හිටියේ හරියට සත්තුගාල් කරනවා වගේ. අතරමගදි නැගිටලා යන්න හදන මිනිස්සු බලෙන් සද්දෙ දාල නතර කරගන්නවා දැක්කා. ඔක තමයි පොහොට්ටුවේ රැස්වීම් වල තත්ත්වය මේකෙන් පේනවනේ එයාලට නැගිටින්නම බෑ කියලා. මහින්දටවත් මහින්ද එක්ක අනිත් අයටවත් නැගිටින්න හම්බවෙන්නෙ නැහැ. හැබැයි මහින්දලට රනිල්ලට විරුද්ධව නම් රටේම මිනිස්සු නැගිටිනවා.
පහුගිය දවස්වල තැන් තැන්වල පළ වුණා අනුර දිසානායකගෙ ප්‍රකාශයන්. ඒකෙන් ඔහු කියන්නේ ජනතාව නැගිටිනව නම් නැගිටින්න ඕනෑ ජනතා විමුක්ති පෙරමුණ එක්ක විතරයි. වගේ කතාවක්. ඇයි එහෙම කියන්නේ?
සමාජ මාධ්‍යවල ඔය වගේ කතා පළවෙනවා තැන තැන. අපි කියන්නේ ඔය වගේ කතාවක් නෙවෙයි. පහුගිය කාලේ ජනතා නැගිටීමක් සිද්ධ වෙලා යම් ජයග්‍රහණ කීපයක් ලැබුණා. හැබැයි ඒ සම්පූර්ණ ප්‍රතිඵලය ජනතාවට ලැබුණේ නැහැ. ඒ සඳහා හේතු කීපයක් තියෙනවා. ඒ හේතු අතර අරගලයට නිසි දේශපාලන නායකත්වයක් නොලැබීම කියන කාරණය ප්‍රධාන කාරණයක්. ඒ නිසා ඊළඟ ජනතා නැගිටීමට අපි නායකත්වය දෙන්න සූදානම් කියන එක තමයි අපි කියන්නේ. ඒක නිසා අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ සටනට එන්න කියලා අපි ජනතාවට කියනවා.
අපේ අරමුණ විය යුත්තේ තියෙන ආණ්ඩුව පළවා හැරීම විතරක්ම නෙවෙයි. තියෙන ආණ්ඩුව පළවා හැරීම වගේම ඊළඟට වඩා යහපත් ආණ්ඩුවක් හැදීමත් වැදගත්. ඒකට විශ්වාසවන්ත දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෑ. මේ වෙලාවෙ අපේ රටේ ජනතාව විශ්වාස කරන දේශපාලන නායකත්වය තියෙන්නේ ජාතික ජන බල වේගයෙ. ඒ නිසා අපි කියන්නේ මේ අරගලයට ජාතික ජන බලවේගය දේශපාලන නායකත්වය ලබා දෙන්න සූදානම් කියලා.
ඉදිරි දින කීපයේ උද්ඝෝෂණ කීපයක් සැලසුම් කරලා තියෙන බව ආරංචියි. එළඹෙන 27 වැනිදා සහ නොවැම්බර් 02 වැනිදා කොළඹදී පැවැත්වෙන ඒ විරෝධතාවලට ඔබලගේ මැදිහත්වීම කොයි වගේද?
මාසේ 27 වැනිදා හයිඩ් පිටියේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරල තියෙනවා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් එකතු වෙලා. ඒ වගේම නොවැම්බර් 02 වැනිදත් තව පිරිස් එකතු වෙලා උද්ඝෝෂණය සංවිධානය කරලා තියෙනවා. ඒක අපේ සටන් පාඨත් එක්ක එකට යනව නම් අපිටත් ඒකට ආරාධනාවක් ආවොත් සහභාගි වෙනවා. ඒ පිරිස් එක්ක අපි මීට කලින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වෙලා තියෙනවා. අපිට පේන්නෙ මේ මාසේ 27 වැනිදා පැවැත් වෙන විරෝධතාව තමයි වැඩි ශක්තිමත්ව දැනට සංවිධානය වෙමින් තියෙන්නේ. කුමන සංවිධානයකින් අපිට ආරාධනා කළත් අපේ සටන් පාඨ එක්ක පෑහෙනවා නම් ඔවුන් එක්ක එකතුවෙන එක ප්‍රශ්නයක් නැහැ.
ආණ්ඩුව කියන්නෙම පෝලිම් ටික ඉවර වුණු එක බලාගෙන ඉන්න බැරුව විපක්ෂය ජනතාව අවුස්සල පාරට ගන්න හදනවා කියලා
ඕක තමයි ආණ්ඩුව තමන්ට එන විරෝධයට ගැලවිල්ලට කියන කතාව. ඒත් ජනතාව අද ජීවත් වෙන්න බැරි තරමට වැටිලා ඉන්නේ. අපිට අමුතුවෙන් අවුස්සන්න දෙයක් නැහැ. ජනතාව තමයි සංවිධානය වෙලා ආණ්ඩුවට විරුද්ධව බහින්නේ.
ඒ අස්සෙ ජනාධිපති මැතිවරණ සිතියම අකුලන්න යනවා කියලත් කතාවක් කරළියට ඇවිත්
ආණ්ඩුව ඡන්දවලට බයයි. රනිල් වික්‍රමසිංහ මේ වෙලාවෙ විපක්ෂෙ හිටිය නම් බලන්න තිබුණා රනිල් ඡන්ද ඉල්ලලා දාන සද්දෙ. කොහොම හරි ජනාධිපති පුටුවට පැනගත්තු රනිල් දැන් ඒ ජනාධිපතිකම රැකගැනීම වෙනුවෙන් ඕනෑම තක්කඩි වැඩක් කරන තැනට වැටිලා තියෙනවා. ඡන්ද කල් දැමීමේ වුවමනාවත් එයින් එකක්. පොහොට්ටුවට ඡන්දයක් තිබ්බොත් දැන් අන්ත පරාජයක් හම්බවෙනවා. රනිල් කරන්නේ පොහොට්ටුව පරාජයෙන් බේරන්න වැඩක්.
ආණ්ඩුව ඡන්ද නොතියා යන්න හදනවා. අපි ඡන්ද ඉල්ලනවා. ඒකට බල කරනවා. එක මොහොතක් තියෙනවා බලපෑමට වෙන්න ආණ්ඩුවට වෙන. අවනත සිද්ධ එතකොට ආණ්ඩුවට සිද්ධ වෙනවා මැතිවරණයකට යන්න. මේ ආණ්ඩුව තව කොච්චර ගියත් රටේ ප්‍රශ්න විසඳන්න බෑ. පරණ හොරු ටිකමනේ ආපහු රජ කරන්නේ. එකම ප්‍රශ්නයක්වත් විසඳන්න සමත් කෙනෙක් මේ ආණ්ඩුවෙ නැහැ. මිනිස්සුන්ට ආණ්ඩුව තවත් ඕනෑ නැහැ. ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගන්න ජනතාවට දැන් ඉඩ දෙන්න ඕනැ. ආණ්ඩුව මේ ඡන්ද කල් දාන කුමන්ත්රණකාරී වැඩෙන් තමයි එයාලට ගෙදර යන්න සිද්ධ වෙන්නේ. ඡන්දය කියන්නේ ප්රජාතන්ත්රවාදය. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ජනතාව පෙළ ගැහෙන්න ඕනැ. ඒක ජනතාවගේ අයිතිය.










