පළවාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද පිස්සු පූසා කොමිෂන් සභාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ජනාධිපති කොමිසම ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසි කරමින් අභියාචනාධිකරණ විසින් රීට් ආඥාවක් ඊයේ (28) නිකුත් කරනු ලැබීය.
අභියාචනාධිකරණය ලබා දුන් රීට් ආඥාවෙන් එම පිස්සු පූසා කොමිසමේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලය 2022 ජනවාරි 18 වෙනි දින සම්මත කර ගන්නා ලද තීරණය ද අහෝසි කරන ලෙස අදාළ ආඥාව නිකුත් කර ඇත.
මෙම නියෝග අභියාචනාඡිකරණය නිකුත් කරනු ලැබූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බන්ඩාර විසින් එම අධිකරණය හමුවේ ගොනුකර තිබූ රීට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ය. එම අධිකරණයේ විනිසුරුවරුන් වන නිස්සංක බන්දුල කරුණාරත්න, ඩී.එම. සමරකෝන් සහ ලසාර් තාහීර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ආඥාව නිකුත් කරනු ලැබීය.
එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු යන අය ය.
මෙම ජනාධිපති කොමිසම සිය බල අධිකාරිය ඉක්මවා කටයුතු කර ඇති බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ලබා දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.










