මේ අතර මැයි දිනය නිමිත්තෙන් විශේෂ රැස්වීමක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ පසුගිය 26වෙනි දිනය. ඒ දෙවෙනි වතාවටය. එහි මූලික අරමුණ වී ඇත්තේ, දේශපාලන පක්ෂවලට මැයි දිනය නිමිත්තෙන් ස්ථාන වෙන්කරවා ගැනීමේදී මතුවන ගැටලූ සාකච්ඡා කිරීමය. එයට ප‍්‍රධාන පක්ෂවල නියෝජිතයෝ පිරිසක් සහභාගි වූහ. එම රැස්වීමට සහභාගිවන විටද එක්සත් ජාතික පක්ෂය විසින් බොරැල්ල කැම්බල් පිටිය වෙන්කරවාගෙන තිබිණි. කොළඹ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය සතු බැවින් ස්ථාන වෙන්කරවා ගැනීමට ඔවුන්ට කිසිදු බාධාවක් නැතැයි එම ස්ථානයට පැමිණි බොහෝ පිරිසක් කතාබහ විය. මෙම සාකච්ඡාවට ශ‍්‍රීලනිපය නියෝජනය කරමින් පැමිණ සිටියේ අලෙවි මවුලානාගේ ලේකම්වරයාය. ඔහු අනුර ප‍්‍රියදර්ශන ලේකම්වරයාගේ ලිපියක්ද සමග පැමිණ සිටියේය. ”අපිට තවම තැනක් බුක් කළේ නැහැ. අපි සාමාන්‍යයෙන් කළේ මෙතනට ලියුමක් දීලා තැන වෙන්කරගන්න එක.” ඔහු පැවසීය. ”එහෙම කරන්න බැහැ. ඉස්සරලා තැන බුක් කරන්න ඕනෑ. ප‍්‍රශ්නයක් තියෙනවනම් මෙතන කතා කරලා විසඳගන්නවා. ඒකනේ ක‍්‍රමය. ඔබතුමාලා අද විතරක් නෙවෙයි මේ රැස්වීමට ආවේ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”අපි මීට කලින් මේ විදියට තමයි කළේ.” ශ‍්‍රීලනිපයේ නියෝජිතයා පැවසීය. ”එහෙම කරන්න බැහැ. ඔයාලා ආණ්ඩුවේ ඉන්න කොට එහෙම කරන්න ඇති. දැන් ඔයගොල්ලෝ පැරදිලා. ඒ නිසා දැන්වත් හරි ක‍්‍රමයට වැඬේ කරන්න. දැන්වත් කලින් ගිහින් තැනක් බුක් කරගන්න” හඳුන්නෙත්ති කීවේය. නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එයට මැදිහත් විය.
මේ අතර ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, සමසමාජ පක්ෂයත් නියෝජනය කරමින් හතර දෙනෙකු පැමිණ සිටියහ. එයට හේතුව වූයේ කොමියුනිස්ට් පක්ෂයත් සමසමාජ පක්ෂයත් කණ්ඩායම් දෙකක් ලෙස බෙදී ඇති නිසාය. නමුත් ඔවුහු රැස්වීමේ එක ස්ථානයේ අසුන් ගෙන සිටියෝය. එකිනෙකා ස්ථාන බුක් කරගැනීම වෙනුවෙන් සුහදව කතාබහ කරමින් සිටියෝය. නමුත් මැයි දින සැමරුම් හතරකි. ”දැන් එතකොට කොමියුනිස්ට් පක්ෂයක් නැද්ද” නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසීය. පැමිණ සිටි සියලූ දෙනාට හිනා ගියේය. ”ගිය සතියේ සාකච්ඡවට එනකොට පක්ෂ දෙකයි. දැන් හතරයි.” සුනිල් හඳුන්නෙත්ති කීවේය එවිටය.









