පසුගිය විසිතුන්වනදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්විය. ඒ, බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදීය. එහිදී විශේෂයෙන් අවධානයට ලක්වූයේ දින සියය තුළ වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය සහ ශ‍්‍රීලනිපයේ වත්මන් දේශපාලන භාවිතාව පිළිබඳවය.
”ශ‍්‍රීලනිපය ගේන්න යන ව්‍යවස්ථා සංශෝධනයට මුලින් එකඟ වෙලා හිටියා. ඒත් දැන් ඒක ගැන විවිධ ප‍්‍රශ්න දානවා. ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. ඡන්ද ක‍්‍රමය ගැන කතා කරනවා. විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන එක ගැන ප‍්‍රශ්න දානවා. මෙතන මොකක් හරි ගේමක් තියෙනවා.” අනුර දිසානායක කීවේය. ”මේ ජාතික ආණ්ඩු කතාවක් එන්නේ ඡන්දය පස්සට දාන්න ඕන නිසා. ඒ වගේම දෙගොල්ලන්ගෙම හොරකම් කරපු අය ඉන්නවා බේරගන්න. එකටත් හොඳ පාරක් තමයි ජාතික ආණ්ඩුව. හොරු බේරන්න යන ගමනක් මේක. ඒක පිට දාලා ඡන්දය කල් දාන්න දෙන්න බැහැ. නිමල් සිරිපාල වගේ අයට මහින්ද එන එක් වළක්වාගන්නත් මේ උපක‍්‍රමය හොඳයි” ටිල්වින් සිල්වා කීවේය.
”ඔව් දින සියයෙන් කරන්න ආපු ආණ්ඩුවට දැන් ශ‍්‍රීලනිපයේ අය කියනවා මදිනම් කල්දාගන්න කියලා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක ගැනත් එක එක කතා කියනවා. මේ අයට ඕනෑ රට හදන්න වත් හොරු අල්ලන්නවත් නෙවෙයි තම තමන්ගේ පෞද්ගලික ගේම් ටික ගොඩදාගන්න” විජිත හේරත් කීවේය. ”දෙගොල්ල එකතු වෙලා ගහන්න යන ගේම ජනතාවට හෙළිකරන්න ඕනෑ. මොකද මේ දින සියය ඇතුලේ කරගන්න පුළුවන් දේවල් ටික කරගන්න ඕනෑ. නැත්නම් පහුවෙලා කතා කරලා තේරුමක් නැහැ. ඒ නිසාම 19වෙනි සංශෝධනය මාතෘකාව උඩට ගන්න ඕනෑ.” සෝමවංශ අමරසිංහ පැවසීය.
අතුරු අයවැයක් කියලා එකක් ගෙනාවා. ඒකත් අවුල් ගොඩයි. රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිකරන්න 2015 අයවැයේ යෝජනාවක් තිබුණා. නමුත් අතුරු අයවැයෙන් මූලික වැටුප වැඩිකිරීමක් නැහැ දීමනාව විතරයි. රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවුණොත් තමයි විශ‍්‍රාම වැටුපට, ණයක් ගන්න ගියාම සහනයක් ලැබෙන්නේ. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමත් ම`ග ඇරලා යනවා.” ලාල්කාන්ත කීවේය.
”හයිබි‍්‍රඩ් වාහනවල අවුල විසඳුවේ අපි මැදිහත් වෙලා. නැත්නම් ඒකත් අවුල් ජාලයක්. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව කිව්වා රත්තරන් බඩු උකස් තියපු වටිනාකම ලක්ෂ දෙකට අඩුනම් පොලී රහිතව ගෙවන්න පුළුවන් කියලා. නමුත් තාම බැංකුවලට චක‍්‍රලේඛ යවලා නැහැ. මිනිස්සු ආපහු හැරිලා එනවා. කසාද ගාස්සතු අඩුකළා කිව්වට තවමත් 5000 ගන්නවා. සිමෙන්තිවල සෙස් බද්ද අනූවකින් අඩුකළා කිව්වා. ඒත් වැඩක් නැහැ වැට් බද්ද අඩුකරන්නේ නැත්නම්.” හඳුන්නෙත්ති අයවැයේ අඩුපාඩු පෙන්නුවේය.
”ඒ විතරක් නෙවෙයි මේක යහපාලන ආණ්ඩුවක් කිව්වට ගමට ගියාම ඒක බලහත්කාරයක් වෙලා. එජාපයේ ප‍්‍රාදේශීය දේශපාලකයෝ වැඩට බැහැලා. වැලි ගොඩ දානවා, ගල් වළවල් ටික අල්ල ගන්නවා, පතල් ටික බලෙන් හාරනවා. මේ ආණ්ඩුවෙනුත් යහපාලනයක් බලාපොරොත්තු වුණ මිනිස්සු දැන් කලකිරීමෙන් කතා කරනවා. වංචා දූෂණවලට කි‍්‍රයාමාර්ග නැහැ කියලා කලකිරිලා. ඒ නිසාම අපි පටන් ගත්තු ‘බලපෙරළිය සහ ජනතා අභියෝග සම්මන්ත‍්‍රණ මාලාව මිනිස්සුන්ට හොඳට දැනිලා තියෙනවා. ඒවා අහන්න මිනිස්සු එනවා.” බිමල් රත්නායක කීවේය.
මේ අතර මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක රට පුරා ගමන් කරන්නේ සම්මන්ත‍්‍රණ සහ රැලි මාලාවක් ඇමතීමටය. මේ ආණ්ඩුවේ ඇතැම් කි‍්‍රයාමාර්ග අනුර දිසානායකගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. ඒ අතර ජාතික ආණ්ඩුව ගැනද විශාල විවේචනයක් පසුගියදා එල්ල කළේය. ”අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවන්න මෛත‍්‍රීපාල මහත්තයා පොරොන්දු වෙලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනෑ. ජාතික ආණ්ඩුවක් ඕන නැහැ. මොකද ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනයට විරුද්ධව විතරක් නෙවෙයි. මේ දූෂිතයින්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවටත් එරෙහිවයි ජනතාව ඡුන්දය දුන්නේ. ඒ නිසා කුඩුකාරයින්ගෙන්, එතනෝල් කාරයින්ගෙන්, ස්ත‍්‍රී දූෂිතයින්ගෙන් පිරිලා ඉන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ජාතික ආණ්ඩු හදන්න යන්නේ හොරු ටික ආරක්ෂා කරන්න. මේක කරන්න දෙන්න බැහැ. අනිවාර්යෙන් අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවිය යුතුයි.” අනුර දිසානායක මේ දිනවල පවත්වන රැලි මාලාවේදී කියයි. මේ අතර පසුගිය විසිපස්වනදා ජවිපෙ නායකයා සිටියේ මුලතිව් නගරයේය. ඒ ජනරැලියක් ඇමතීම සඳහා ගොස්ය.
මේ අතර මුලතිව් නගරයේ විවෘත කරනලද ජවිපෙ කාර්යාලයේ පළමු මහජන දිනය පැවැත්වූයේ පසුගිය විසිතුන්වනදාය. ඒ, සුනිල් හඳුන්නෙත්තිගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ප‍්‍රදේශවාසීහු විශාල ප‍්‍රමාණයක් තම ගැටලූ විසඳාගැනීම සඳහා ජවිපෙ නියෝජිතයා මුණ ගැසීමට පැමිණියෝය. ”අපි මේ තරම් කාලයක් වෙන වෙන අයට කිව්වා අපේ ප‍්‍රශ්න විසඳලා දෙන්න කියලා. කවුරුත් අපේ ප‍්‍රශ්නවලට උත්තරයක් දුන්නේ නැහැ. ඒ නිසා තවත් අපිට ප‍්‍රශ්න කිය කියා ඇවිදින්න වෙලා මන්ත‍්‍රීතුමා” හඳුන්නෙත්ති හමුවීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් කීහ. මේ අතර නන්දිකඩාල් කලපුවේ ඉස්සන් අල්ලන ධීවර පිරිසක්, එල්.ටී.ටී.ඊ. බැංකුවල රත්තරන් බඩු උගස් කළ පිරිසක්, ඉඩම් ගැටලූවලට සහනයක් බලාපොරොත්තු වූ පිරිසක්, විදුලිය නොමැතිව පීඩාවට පත්වූවන් පිරිසක්ද හඳුන්නෙත්ති මුණ ගැසුනෝය.









