හෙට (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (26) අනාවරණය කළේය.
ඒ ගෝල්ෆේස් අරගලකරුවන් හා ජාතික ජන බලවේගය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් දක්වන අදහස්
“රනිල් වික්‍රමසිංහ මේ රට පාලනය කරන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය නීතිය යටතේ නෙවෙයි. ජනාධිපතිවරයා ලෙස තමන්ට බලය ලැබුණු වහාම ඔහු ඉටුකරපු ප්‍රධාන කාර්ය භාර්යය තමයි හදිසි නීතිය පැනවීම. සාමාන්‍ය නීතිය යටතේ රට පාලනය කරන්න බැරි තත්වයක් නැහැ. සාමාන්‍ය නීතිය යටතේ මේ රට පාලනය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය නීතිය යටතේ ජනතාව මර්දනය කරන්න බැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ හදිසිනීතිය පනවමින්, විවිධ මර්ධන අනපනත් පනවමින්, ජනතාවගේ සාධාරණ නැගිටීම් මර්ධනය කරන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් රනිල් වික්‍රමසිංහට රැකවරණය දෙන පොහොට්ටුවේ ආණ්ඩුවටත් අපි කියා සිටින්නේ අන් කවරක්වත් නෙවෙයි ජනතාවගේ සාධාරණ ඉල්ලීම් මැඩපැවැත්වීම සඳහා මේ දරන උත්සාහය වහාම නතර කළ යුතුයි. නතර කළ යුතුයි පමණක් නෙවෙයි, ජාතික ජන බලවේගයේ අපි ජනතාවත් සමග ඒකාබද්ධව මෙම මර්දනයට එරෙහිව කටයුතු කරනවා.
කිසිදු තරුණයෙක් තරුණියක් පහරදීම්වලට ලක්විය යුතු නැහැ. කිසිදු තරුණයෙක් තරුණියක් අත්අඩංගුවට පත්වීමට ලක්විය යුතු නැහැ. ඒ නිසා කිසිදු තරුණයෙක් තරුණියෙක් මෙම රනිල් වික්‍රමසිංහගේ මුර්ග මර්දන නීතිවලට අහුවියයුතු නැහැ. ඒ නිසා කිසිවෙක් මේ මර්දනයේ ගොදුරු බවට පත් නොවිය යුතුයි. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ තමන් ඔලුවේ හදාගෙන තිබෙන ඒ මර්දන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙසත් ඒ නතර කිරීම සඳහා මේ රටේ ජනතාවත් එක්ක එකට සටන් වදින්නත් මෙම මර්දනයට එරෙහිව ජනතාව පෙලගස්වන්න අපි සූදානම්.”










