විදුලි බිලටත් කොලේ හිරවෙයි

විදුලි බිලටත් කොලේ හිරවෙයි

මේ වනවිට රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මුද්‍රණ කඩදාසි හිගය හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණය සඳහා ඇතිව තිබෙන බලපෑමට පිළියමක් ලෙස ඉදිරියේදී විදුලි බිල්පත් ලබාදීම ක්‍රම 03ක් ඔස්සේ සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයින් වෙත මාසික විදුලි බිල්පත් නිකුත් කිරීමේදී පහත ක්‍රමවේද භාවිතා කරනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.

  1. තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (thermal printed bills) – කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ‍‍ඇත්නම්, ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කරනු ලැබේ.
  2. කෙටි පණිවිඩ මඟින් (SMS) මාසික විදුලි පරිභෝජනයට අදාලව ගෙවියයුතු මුදල දැනුම් දීම – මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.
  3. CEBCare ජංගම දුරකථන යෙදුම මගින් – CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.

වඩාත් කාර්යක්ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණකගත කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “CEB Assist” වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දී ඇත. එමෙන්ම විද්‍යුත් තැපැල් මඟින් ඊ-බිල්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සැකසුම් කටයුතුද මේ වනවිට සිදු කරමින් පවතින බව ඔවුන් පවසයි.

විදුලි බිල්පත් පෙරාතුව මුද්‍රණය කර බෙදාහැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟය හේතුවෙන් කළ නොහැකි වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය අතර, මෙම නව ක්‍රමවේද වෙත යොමු වීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පමණක් නොව, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමටද දායක වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn