මුළු රටක් සටන් වදිද්දී කුමන්ත්‍රණකාරී පවුලකට දිනන්න බැහැ… ජාතික ජන බලවේගය

මුළු රටක් සටන් වදිද්දී කුමන්ත්‍රණකාරී පවුලකට දිනන්න බැහැ… ජාතික ජන බලවේගය

“අපි ආණ්ඩුවට අනතුරු හඟවන්නේ “ඔයගොල්ලෝ කිහිපදෙනෙක්, පවුලක්. ඔයගොල්ලන්ට විරුද්ධව මුළු රටක් සටන් වදින්නේ” කියලා. රටක් සටන් කරනකොට මර්දනය කරලා නවත්වන්න බැහැ. එහෙම මර්දනය කරන්න ලෝකයේ කොහේවත් හැකිවී නැහැ. ඒ වගේම ජනතාවට අවධාරණය කරන්නේ සටන තුළට ප්‍රචණ්ඩත්වය ගෙනත් දුර්වල කරන්න තිබෙන උත්සාහය පරාජය කරන්න කියලා…” යැයි අද (08) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුකදී ජාතික ජන බලවේගය අවධාරණය කළේය.

බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්ලාලයේදී පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර සහභාගීවී සිට අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

රට ගිනි අරන් තිබියෙදී ගෝටා-රනිල් ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා – ටිල්වින් සිල්වා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

“රටේ තත්වය දවසින් දවස බරපතළ වෙමින් පවතිනවා. මාස කිහිපයකට පෙර ආර්ථික අර්බුදයක් ඇතිවී එය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් රට බරපතළ බිඳ වැටීමකට ලක්වී තිබෙනවා. අගමැති ඉල්ලා අස්වී නව අගමැතිවරයෙක් පත්කර ගත්තත් රාජ්‍ය සේවය බිඳ වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම, රෝහල් පද්ධතිය බිඳ වැටීම, ගෑස් සහ ඉන්ධන සැපයීම බිඳ වැටීම වළක්වන්න හැකිවී නැහැ. පෝලිම්වල දිග වැඩිවී, පෝලිම්වල ඉන්න දවස් ගණන වැඩිවී, පෝලිම්වල මිනිසුන් මිය යාමත් පෝලිම්වල ගැටුම් ඇති වී මිය යාම දක්වාත් වර්ධනය වී තිබෙනවා. ආහාර ප්‍රශ්නය තව තවත් බරපතළ වී තිබෙනවා. අර්බුදය දවසින් දවස බරපතළ වෙමින් යනවා. එක පැත්තකින් තෙල් නැව්වලට ගෙවන්න සල්ලි නැහැ. තෙල් ගේන්න රට ගිය ඇමතිවරු හිස් අතින් ඇවිත් තිබෙනවා. ජනතාව ප්‍රශ්න විසඳන ලෙස ආණ්ඩුවට බලකරමින් අරගල කරනකොට ජනාධිපති, අගමැති ඩබල විනෝදයෙන් ඉන්නවා. රට ගිනි අරන් තිබියෙදී මේ ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා. අගමැතිත්, ජනාධිපතිත් ස්නායු මැරුණු, ඒගොල්ලෝ හදාගත් ලෝකයක ඉන්න අය. රට විනාශයට පත්වී තිබියදී, අඩුම ගණනේ විනාශය වළක්වන සැලැස්මක්වත් හදාගන්න බැරිවෙලා. ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන්නවත් හැඟීමක් නැහැ.

ජනතාවට දැන් ආණ්ඩුව පළවා හැරීමෙන් තොරව වෙන උත්තරයක් නැහැ. රට ගොඩගන්න පුළුවන් ආණ්ඩුවක් හදා ගන්න අලුත් ජනවරමකට ඉඩදී අගමැතිත්, ජනාධිපතිත් ප්‍රමුඛ ආණ්ඩුව පළවා හරින්න ඕනෑ. එයින් තොරව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මාර්ගයක් නැහැ. ලෝකයේ වෙනත් රටවල නම්, මෙවැනි අර්බුදයකදී තනතුරු අත්හැරීමට නිහතමානී වෙනවා. මේ ගොල්ලෝ මිනිසුන් මරාගෙන හරි තනතුරුවල ඉන්න උත්සාහ කරනවා. මේ නිසා ආණ්ඩුව පළවා හරින තුරු එකදිගට සටන් කරන්න ජනතාවට සිදුවී තිබෙනවා. මුළු රටම එකතු වෙලා මේ පාලනය පළවා හරින්න සටනක් තිබෙනවා. ඒ වෙනුවෙන් කාලයක් තිස්සේ අරගල සිදුකරමින් පවතිනවා. නව වෙනිදා ගෝල්ෆේස් කණ්ඩායම් විසින් සංවිධානය කර තිබෙන අරගලයට පූර්ණ සහයෝගය පළකරනවා. ගෝල්ෆේස් අරගල කණ්ඩායම හත්වැනිදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිතයින් මුණගැසුණා. මේ අරගලය සාර්ථක කර ගන්න අපේ උපරිම සහයෝගය ලබාදෙන අතර, ජනතාවගේ සහයෝගය ලබාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා. නොනවතින අරගල රැල්ලක් ඉදිරියට ගෙනගොස් ආණ්ඩුව පළවා හරිමු කියන ඉල්ලීම අපි කරනවා.

මේ අරගල පැනනැගී තිබෙන හේතුවට ආණ්ඩුව පිළියම් යොදනවා වෙනුවට කුමන්ත්‍රණකාරී ලෙස අරගල කරන ජනතාව මර්දනය කරන්න කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ කරමින් නොයෙකුත් ප්‍රචාර දියත් කර තිබෙනවා. සාමකාමී අරගලය ජන පීඩක ආණ්ඩුවකින් ආරක්ෂා කර ගන්න සිදුවී තිබෙනවා. අරගලකරුවන් සාමකාමිත්වය ඉක්මවා ගොස් කටයුතු කර නැහැ. එම අරගලය ප්‍රචණ්ඩකාරී බවට පත්කරන්න කුලී හේවායින් කණ්ඩායම් ආණ්ඩුවෙන් යොදවා තිබෙනවා. මාර්තු 31 වැනිදා මිරිහානේ ඇතිවූ සිදුවීම පිටුපස මේ කුලී හේවායන් හිටියා. අප්‍රේල් 19වැනිදා රඹුක්කන වෙඩි තබමින් දියත් කළ ප්‍රචණ්ඩත්වය පිටුපස ආණ්ඩුව හිටියා. මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට ඍජුවම ප්‍රහාර එල්ල කළෙත් ආණ්ඩුවයි. ගම්වල ප්‍රචණ්ඩත්වය ඇති කරන්න හෙල්මට් දාගෙන බයිසිකල්වලින් ආ කණ්ඩායම් සමග ආණ්ඩුවේ පැරා මිලිටරි කණ්ඩායම් සිටි බවට සැකයක් තිබෙනවා. 09 වැනිදා අරගලය පිළිබඳව ආණ්ඩුව දැනගත් පසුව එය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් දියත් කළා. පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියූ ලිපියකින් කළු කොටි සැමරීමට මුවාවී බෝම්බ ප්‍රහාර එල්ල කළ හැකි බවට දන්වා තිබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ තවත් පක්ෂ, ප්‍රාදේශීය දේශපාලනඥයන්ට පහර දෙන සැලැස්මක් තිබෙන බවත් සඳහන් කර තිබෙනවා. තහවුරු කළ නොහැකි අසත්‍ය තොරතුරු අඩංගු ලිපියක් පොලිස්පතිවරයා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කළා.

ඊට පස්සේ ආණ්ඩුව ප්‍රකාශ කළේ තහවුරු නොකළ තොරතුරු මත ඒ ලිපිය යැවූ බවයි. ඒ වගේම පෙට්‍රල් බෝම්බ හදන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් තිබෙන බවට වීඩියෝවක් මුදාහැර තිබුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා රටට කරුණු පැහැදිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් පොලිසිය සිදුකර නැහැ. මේ සාමකාමී අරගලය ප්‍රචණ්ඩත්වයට පත්කර මර්දනය කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. අපි ආණ්ඩුවට අනතුරු හඟවන්නේ “ඔයගොල්ලෝ කිහිපදෙනෙක්, පවුලක්. ඔයගොල්ලන්ට විරුද්ධව මුළු රටක් සටන් වදින්නේ” කියලා. රටක් සටන් කරනකොට මර්දනය කරලා නවත්වන්න බැහැ. එහෙම මර්දනය කරන්න ලෝකයේ කොහේවත් හැකිවී නැහැ. ඒ වගේම ජනතාවට අවධාරණය කරන්නේ සටන තුළට ප්‍රචණ්ඩත්වය ගෙනත් දුර්වල කරන්න තිබෙන උත්සාහය පරාජය කරන්න කියලා. අරගලය තුළට ආණ්ඩුවේ ඔත්තුකරුවන් රිංගවා ප්‍රචණ්ඩකාරිත්වය ඇති කරන්න උත්සාහ ගන්න පුළුවන්. ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙන්න කියලා අපි ජනතාවට අවධාරණය කරනවා. රටේ කොහේ වුණත් පවතින අරගල ප්‍රචණ්ඩකාරිත්වයට ගන්න කවුරුන් හෝ යෝජනා කරනවා නම්, එම අදහස පරාජය කරන්න කියලා අපි කියනවා. ගල් කැටයක්වත් අරගලයට ගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. නිරායුධ අරගලයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. කොතනක හෝ ප්‍රචණ්ඩකාරිත්වයක් ඇති කළහොත් ඒ සමස්ත වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. මේ ආණ්ඩුව පළවා හරින තුරු අඛණ්ඩව ගෙනයන සටනට අපි නායකත්වය දෙනවා.”

සාමකාමීව අරගලයට එක්වන ලෙස අපි අවධාරණය කරනවා…

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය

“ගෝල්ෆේස් අරගලකරුවන් පවත්වන විරෝධතාවට අපේ පූර්ණ සහයෝගය පළ කරනවා. රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ ක්ෂේත්‍රවලින් එයට සහභාගි වෙන්න සූදානම් වෙන ජනතාවට අපි විශේෂ කරුණක් අවධාරණය කරනවා. ආණ්ඩුවේ නොහැකියාව, හැඟීම් නැතිකම, ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් වීම තුළ ඔවුන් දන්නේ මර්දනය කිරීමේ ක්‍රමය විතරයි. ඒ නිසා අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සාමකාමීව මේ අරගලය දියත් කිරීම අනිවාර්යය දෙයක්. ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන භාවිතය, දේශපාලන සංස්කෘතිය තුළ මේ තත්වයන් තේරුම් ගන්න ඔවුන්ට බැහැ. ඒ නිසා සුපුරුදු පරිදි ඔවුන්ගේ මර්දනය දියත් කර තිබෙනවා. අරගලකරුවන් හැටියට ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ. සමාජ මාධ්‍ය පුළුල් ලෙස පාවිච්චි කරමින් වපුරන බොරු, බොරු හැටියට ජනතාව තේරුම් ගන්න ඕනෑ. අරගලයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ඉලක්ක කොට ගනිමින් ඔවුන් පිළිබඳව සමාජය තුළ බියක් සැකයක් නිර්මාණය කරන්න විවිධ ක්‍රම යොදනවා. පසුගිය කාලය තුළ ලද අත්දැකීම් අනුව ජනතාව ඉතාමත් ශක්තිමත් වෙමින් අවබෝධයෙන් යුතුව දේශපාලන කටයුතු තේරුම් ගනිමින් ඉන්නවා.

ඒ තුළ පවා විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ කාලය තුළ ලැබෙන තොරතුරු පිළිබඳව නිවැරදි විනිශ්චයක් කිරීමේ හැකියාව ගොඩනඟා ගන්නා ලෙසයි. ඒ අවබෝධයෙන් යුතුව ප්‍රචණ්ඩත්වයට යොමුවන ගල් කැටයක් වත් නොගන්නා ලෙස නැවත නැවත අවධාරණය කරනවා. දැන් පැවැත්වෙන අරගලයට වගේම මේ ආණ්ඩුව පළවා හැරීමෙන් පසු ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළටත් අපි සැලසුම් සහගත නායකත්වයක් නිවැරදිව ලබාදෙන බව අපි අවධාරණය කරනවා.”

රට ගොඩනැගීමේ සැලසුම් අපි දැනටමත් සකස් කර අවසන්

ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

“රට පුරාම විවිධ පුද්ගලයින් 09වැනිදා පැවැත්වෙන විරෝධතාවයට සම්බන්ධ වෙන්න සූදානමින් සිටිනවා. මෙම විරෝධතාවය සංවිධානය කළ අය මුලින් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන තිබුණේ නැහැ. ජාතික ජන බලවේගයේ අපි පෞද්ගලිකව හෝ මෙයට සම්බන්ධ වෙන්න කල්පනා කළා. පසුගිය දිනවල ආණ්ඩුව නොයෙකුත් ප්‍රචාර මගින් ජනතාව බියවැද්දීමේ ක්‍රියාමාර්ග ගෙනගියා. ඒවා සම්පූර්ණයෙන්ම බොරු ප්‍රචාර බවට ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ජාතික ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ නොවන බවට අප තහවුරු කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරිත්වයක කිසිදු අවශ්‍යතාවයක් අප කාටත් නැහැ. ආණ්ඩුවේ අසාර්ථකභාවය හෙළිකරමින් ජනතාව දිනාගැනීමේ අඛණ්ඩ ව්‍යාපාරයක් ජයග්‍රාහීව අප ගෙනයමින් තිබෙනවා. එවැනි තත්වයකදී ජනතාවට හිංසා, පීඩා සිදුවන ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

පසුගිය අවුරුදු 50 තුළම බලය ගත් පක්ෂවලින් දේශපාලනයට ආ පිරිස්වලට පෞද්ගලික අරමුණු තිබුණා. ව්‍යාපාර පටන් ගන්න, කොමිස් ගන්න, කොන්ත්‍රාත් ගන්න හෝ තීරුබදු රහිත වාහන ගන්න, විශ්‍රාම වැටුප් ගන්න වගේ පටු අරමුණු තිබුණා. ජාතික ජන බලවේගයේ අපි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ ඊට වෙනස්ම අරමුණු ඇතිවයි. ඒ සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය වේගයෙන් ඉහළ යමින් තිබෙන වටපිටාවක ජනතා අවධානය වෙනතක යවන්න ආණ්ඩුව විවිධ ප්‍රචාර සිදුකරමින් ඉන්නවා. ජාතික ජන බලවේගය ගොඩනඟන මුල්ම අවස්ථාවේ සිට අපි සන්නද්ධ වුණේ ජාතික විද්වත් සංවිධානය විසින් සකස් කළ රට ගොඩනැඟීමේ ප්‍රතිපත්ති මාලාවක් එක්කයි. “ගොඩනඟමු ශ්‍රී ලංකාව” කියන ප්‍රතිපත්ති මාලාව ජාතික විද්වත් සංවිධානයෙන් සකස් කළා. වෘත්තිකයෝ හැටියට අපි දේශපාලනයට එන්නේ මේ ප්‍රතිපත්ති මාලාවත් එක්ක. ජාතික ජන බලවේගය ඉදිරියට එන්නේ ඒ ප්‍රතිපත්ති පිළිබඳව 2017-2018 කාල සීමාවේ සිටයි. රට ගොඩනඟන ප්‍රතිපත්ති හා සැලසුම් අප දැනටමත් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් දැනුම සහිත, තාක්ෂණය මෙහෙය විය හැකි කණ්ඩායමක් එකතු වී සිටිනවා. සියලුම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් එකට එකතු කර, ජාතික ජන බලවේගය හැටියට සංවිධාන ගත කරමින් ඉන්නවා. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණය ගොඩනඟමින් ඉදිරියට යනවා. ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රකාශයට පත්කර තිබෙන විරෝධතාවයට අපි පූර්ණ වශයෙන් සහයෝගය පළ කරනවා. මේ රටේ ජනතාව සක්‍රීයව අරගලයට සම්බන්ධ කරවන්න ජාතික ජන බලවේගය කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ සාමකාමීව අරගල කර, ජයග්‍රහණය ලබාගන්නයි. අසාර්ථක පාලකයින් විසින් ලෝකයේ කිසිම රටක් ගොඩනඟා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව පළවා හැරීමෙන් තොරව රට ගොඩනඟන්න බැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ පූර්ණ සහයෝගය සාමකාමී අරගලවලට ලබාදෙන බව නැවත අවධාරණය කරනවා.”

නීතිඥවරු විශාල සංඛ්‍යාවක් අරගලය වෙනුවෙන් කොළඹට එනවා…

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර

පාට, පක්ෂ, දේශපාලන භේදයකින් තොරව නීතිඥ ප්‍රජාව ඉතා විශාල සංඛ්‍යාවක් 09 වැනිදා අරගලයට සහයෝගය දෙමින් කොළඹට පැමිණෙනවා. නීතිඥවරු කිසිදවසක පවතින ආණ්ඩුවකින් වාහන බලපත්‍ර ඉල්ලා නැහැ. දරුවන්ට හොඳ ඉස්කෝල ඉල්ලා නැහැ. රටේ නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයට මර්දනයක් එල්ල වන ඕනෑම අවස්ථාවකදී ඔවුන් සංවිධානාත්මකව ඉදිරියට ආවා. මිරිහානයේ සිද්ධියේ ඉඳලා මේ දක්වා අනීතිකව අත්අඩංගුවට ගත් සියලු දෙනා වෙනුවෙන් නීතිඥවරු නොමිලේ පෙනී සිටියා. රට ශිෂ්ටසම්පන්න වෙන්න නම් නීතියේ ආධිපත්‍යයේ පැවතීම අනිවාර්ය අංගයක්. යම් පුද්ගලයෙකු සාමකාමීව අදහස් ප්‍රකාශ කරනවා නම්, එය ව්‍යවස්ථාපිත අයිතියක්. එය උල්ලංඝනය කරනවා නම්, නීතිඥ ප්‍රජාව නොමිලයේ පෙනී සිටිනවා.

අපේ ජයග්‍රහණය රඳා පවතින්නේම අපේ එකමුතුකම, සාමකාමී බව, තුළින් උද්ඝෝෂණ ගෙනයාම මගිනුයි. යම් කෙනෙක් ප්‍රචණ්ඩත්වයට එන්න උත්සාහ කරනවා නම්, ඔහු ආණ්ඩුවට උදව් කරන කෙනෙක් මිස අරගලයට උදවු කරන කෙනෙක් නොවෙයි. නීත්‍යානුකූල ලෙස භාෂණයේ නිදහස පාවිච්චි කර අපට දිනන්න පුළුවන්. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කටයුතු විශාල ප්‍රමාණයක් වීඩියෝපට ලෙස මුදාහැර තිබෙනවා. වීඩියෝ ගත කිරීම ඔවුන්ගේ රාජකාරියට බාධාවක් බව කියමින් පුරවැසියන් බියගන්වන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන් සිදුකරන මහජන සේවාව සම්බන්ධයෙන් වීඩියෝ ගත කිරීමේ අයිතිය අපට තිබෙනවා. එය කළ යුතුයි. ආරක්ෂක අංශවල කවුරුන් හෝ ජනතාව බියවද්දනවා නම්, ඔවුන් ඒ බියවැද්දීම කරන්නේම අනීතික යමක් කිරීමේ අරමුණින්. ඒ නිසා අරගලයට එන විට හැකිනම් කැමරා ෆෝන් එකක් සහ වතුර බෝතලයක් විතරක් අරගෙන එන්න. 09වැනිදා අරගලය සාර්ථකකර ගනිමු. සාමකාමී වෙමු. නීතිගරුක වෙමු. නමුත් සටන්කාමී වෙමු. ගෝඨාභය – රනිල් දෙපළ පළවා හරින තුරු අරගලය ගෙනයමු කියන පණිවිඩය ලබාදෙනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- දැන් දින 90 ගණනක් අරගල කරනවා. මේ අරගලය ක්‍රමානුකූලව පහත වැටී තිබෙනවාද?

පිළිතුරු:- ආපහු යන අරගලයක් නොවෙයි තිබෙන්නේ. ජනතාව පීඩාවට පත්කරන්න ආණ්ඩුව කටයුතු කළාම ඔවුන් පාරට බැස්සා. මුලින්ම ඉල්ලුවේ කිරිපිටි, ගෑස්, තෙල් ලබාදී බඩුමිල අඩුකරන්න කියලා. ඒ ඉල්ලීම් නොසලකා ගිය අවස්ථාවේ ආණ්ඩුව ගෙදර යන්න කියලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඒ උද්ඝෝෂණවලට මාස තුනකට වැඩි කාලයක් දැන් ගතවී තිබෙනවා. ගෝල්ෆේස් එකෙන් කියැවෙන්නේ රට පුරාම තිබෙන අරගලයේ ප්‍රකාශනයක්. රටේ හැමෝම වෘත්තීන් භේදයක් නැතිව වෙනත් කිසිදු භේදයක් නැතිව මේ අරගලයේ ඉන්නවා. මේ අරගලය නොතිබුණා නම්, මහින්ද රාජපක්ෂ කවදාවත් අගමැතිකම දාලා යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂත් එහෙමයි. පරණ ඇමති මණ්ඩලය අයින් කරන්නෙත් නැහැ. අරගලය මුලින්ම පැන නැගෙද්දී පාර්ලිමේන්තුව ඇතුලේ පුංචි වෙනස්කම් සිදුකොට දිගටම යන්න ආණ්ඩුව කල්පනා කළා. රනිල් වික්‍රමසිංහ අගමැති කළෙත් ඒ ගමන යන්න. එයාට කළ හැක්කේ අර්බුදය වැඩිකිරීම බව දැන් හොඳටම ඔප්පු කර තිබෙනවා. ආණ්ඩුවේ අනෙක් ඇමතිවරුන් හොරකම් කිරීම හැර වෙන දෙයක් නොකරන බව ඔප්පු කරමින් ඉන්නවා. නිමල් සිරිපාල ද සිල්වා තාවකාලිකව ඇමතිකමෙන් ඉවත්වී අල්ලස් ඉල්ලීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වා තිබෙනවා. මේ ආණ්ඩුව පළවා හැරීමෙන් තොරව විසඳුමක් නැහැ කියලා කාටත් වැටහී තිබෙනවා. නව වැනිදා සිදුකරන්නේ ඒ අරගලයේ තවත් පියවරක්. අපි හැමෝම අතරමඟ නොනවතින, ආණ්ඩුව පළවා හරින අරමුණින් යුතුව අරගල කළ යුතුයි. ජයග්‍රහණය තිබෙන්නේ ජනතාවගේ පැත්තේ. දිගුකාලයක් තිස්සේ ආණ්ඩුවට ඔරොත්තු දී ඉන්න බැහැ. ජනතාවටත් දිගු කලක් තිස්සේ මෙහෙම ජීවත් වෙන්න බැහැ.

ප්‍රශ්නය:- ආණ්ඩුව ව්‍යවස්ථාව පළිහක් කර ගනිමින් ඉන්න අතර, අරගල කිරීම නිසා විශාල ලේ වැගිරීමක් ඇතිවිය හැකි බව හිතන්නේ නැද්ද?

පිළිතුරු:- අරගල කරන ජනතාව යන්නේ නිරායුධව. නිරායුධ ජනතාවකට උත්තර දෙන්න හදන්නේ කුමන්ත්‍රණ කරලා නම්, එහි වගකීමත් ආණ්ඩුව භාරගන්න ඕනෑ. නිරායුධ පුරවැසියන්ට ආයුධ මානන්න කිසිම අයිතියක් නැති බව ආරක්ෂක අංශවලට අවධාරණය කරනවා. ඒ වගේම ඔබ ආරක්ෂා කළ යුත්තේ මේ රට සහ ජනතාව මිස පල්හොරු කණ්ඩායමක් නොවන බව විශේෂයෙන්ම ආරක්ෂක අංශවලට පෙන්වා දෙනවා. බලයේ ඉන්න කිහිපදෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාවගේ පැත්තට ගිනි අවිය හරවන්න එපා කියලත් ජනතාවත් එක්ක පෙළ ගැසී රට බේරා ගැනීමේ අරමුණට එක්වන ලෙසත් ඉල්ලා සිටිනවා. ලේ ගැලීම් හෝ ප්‍රචණ්ඩකාරිත්වයත් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.

Facebook
Twitter
LinkedIn