දින පතා අසන්නට ලැබෙන්නේ සිතට වද දෙන සිදුවීම් ය. ඒවා කෙරෙහි අතිශය සංවේදී වන ලක් වැසියෝ දෑසින් කඳුළක් හෙලා එකී වදය ඉවසා සිටිති. එහෙත් නැවතත් එවන් වදයක් ඇති නොවීමට කුමක් කළ යුතුදැ‘යි නොදනිති.
පසුගිය පෙබරවාරි 06වන දා අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා තරගයක මැරතන් ධාවනයේ යෙදුණු දරුවෙකු මරණයට පත් වීම එවන් ආසන්නත ම සිදු වීමකි. මෙවන් දරුවන් මිය ගියේ මේ වසරේ දී පමණක් නොවේ. මීට පෙර ද පළමු පාසල් වාරය තුළ ක්‍රීඩාවල දී දරු දැරියන් මිය යාම සිදු වී තිබේ. එහෙත් එයට හේතුව කුමක් දැයි සමාජය තුළ කතිකාවක් ඇති වූයේ නැත. සුපුරුදු පරිදි ලාංකිකයෝ කම්පා වූහ. මානසික වදයකට ලක් වූහ.
අපේ පාසල් අධ්‍යාපනය තුළ ක්‍රීඩාවට ඇත්තේ කුඩම්මාගේ සැලකිලි ය. ක්‍රීඩා කටයුතු සඳහා වෙන් වන්නේ පළමු වාරය පමණි. (සම්පූර්ණ වාරය නොවේ.) ක්රමානුකූල පුහුණුවක් නැති දරු දැරියෝ හිටි ගමන් ක්‍රීඩාවල යෙදෙති. ඔවුන්ගේ කායික දරා ගැනීමේ සීමාව ඔවුහු නොදනිති.
මැරතන් ධාවන තරගයට පෙර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු ය. මිය ගිය සියලූ දරුවෝ එයට මුහුණ දුන් අය වෙති. කොතැන හෝ වරදක් තිබේ. වෛද්‍ය වරයාගේ වරදක් යැයි පවසා ඇඟ බේරා ගැනීමට ද නොහැකි ය. යටත් පිරිසෙයින් ඊ.සී.ජී. පරීක්ෂණයක් වත් නැති වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල මෙසේ වීම අරුමයක් නොවේ. වරද දැන් පැහැදිලි ය. සිසු දරුවන් සඳහා විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් නොවීමයි. එයට යම් පිරිවැයක් දැරිය යුතු ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ සඳහා හැකියාවක් නැත. දරුවෝ ජීවිතවලින් වන්දි ගෙවති. “තුට්ටු දෙකට අශ්වයා රැගෙන අනෝමාවෙන් පනින්නට බැරි” බව දැන්වත් බලධාරීන් මෙන් ම පුර වැසියන් තේරුම් ගත යුතු ය. එය වටහා ගන්නා තුරු ම වදවලින් අඩුවක් නැත.









