මුහුණේ අන්තිම ලේ කඳුලත් සිඳීගිය සතියක්…

මුහුණේ අන්තිම ලේ කඳුලත් සිඳීගිය සතියක්…

ඒ මුහුණුවල ලියැවී තිබෙන්නේ අතිශය බියමුසුකම. වික්ෂිප්තභාවය. තුෂ්නීම්භූත වී ගිය බව. ඊළඟ තත්පරයේ කුමක් වේදෝයි නොදැන පළා යන්නන් බව. ගෙනයා ගත නොහැකි බඩුපොදි නොවූවත් අතින්, කරෙන් එල්ලාගෙන යන බඩු පොදිය.

මේ වචන ටික කියවන ඔබගේ චිත්තරූප ඇඳී ඇති. සැතපුම් දහස් ගණනක් ඈත යුක්රේනයේ වැසියන්.

අද සිකුරාදා. ජූලි 01. උදේ 7.00යි.

මම දැන් ඉන්නේ කොළඹ කොටුව CTB බස් නැතුම් පොළේ. රටපුරාම බස් යන්නේ මෙතන ඉඳලා. වෙනදා වගේ ජනාකීර්ණ බවක් කොහොත්ම නෑ. ඉබාගාතේ දුවන මිනිසුන්, වාහන, අත්කරත්තකරුවන් කිසිම කෙනෙක් නෑ. දුර යන බස් මගී පෝලිම් හැම එකකම වගේ බස් දෙකකට වත් සෙනඟ. මම ඔවුන්ගේ මුහුණු එකින් එක බැලුවා.

අර ඔබ චිත්තරූප මවාගත් යුක්රේන මිනිසුන්ගේ මුහුණුවලට අපේම මිනිසුන්ගේ, ගැහැනුන්ගෙ, වියපත් වූවන්ගේ, දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ මුහුණු එකතු කර ගන්න. සමහරවිට පවුල් පිටින්… වයස්ගත වුවන්… රෝගීන්… තරුණ ජෝඩු… ධර්මසේන පතිරාජගේ පාරදිගේ චිත‍්‍රපටියේ ”චන්දරේ කොහෙද අපි යන්නේ” කියලා නම් අහන්නෙ නෑ.

මම දැන් ඉන්නේ බදුල්ල පෝලිමේ. මමත් දියණියන් දෙදෙනාත්. අපට පිටුපසින් හිටි මැදිවියේ කාන්තාවක් දියණියත් එක්ක කතාවක. ”අපි පාන්දර පහේ ඉඳලා ප‍්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ සිටියා මේ වෙනකල්. බස් නෑ” පස්සේ තේරුණා ඇය, සැමියා, දරුවන් තුන්දෙනෙක්ගේ මුළු පවුලම බව.

අග නගරනේ පළා යන මිනිස් පොදියක් මෙතන.

අනිත් ප‍්‍රධාන නගරවලත් මෙහෙමම ඇති! මේ විදිහට මිනිසුන් පළා යන ලෝකයේ එකම රටක් ගැන විතරයි හිතන්න පුළුවන්. යුක්රේනය. ඒ යුද්ධයෙන්. මේ වෙනකොට ආර්ථිකය කඩා වැටීම නිසා මේ වගේ පළා යන ලෝකයේ තව රටවල් තිබේද! ජාත්‍යන්තර ප‍්‍රවෘත්තිවල වත් කියැවෙන්නේ නෑ. එකම රට ලංකාව! ඒක එහෙම නොවෙයි නම් කියන්න විවෘතයි.

මගේ මතකය දවස් පහක් අතීතයට යනවා. ජූනි 26වෙනි ඉරිදා. වැලිමඩ ඉඳලා කොළඹ එන්න. මාර්ග අංක 99 බලංගොඩ, රත්නපුර හරහා එන උදේ 7.30 බස් එක නෑ. අනික් බස් ගැන විශ්වාසය නෑ. තියෙයිද? කීයටද? මාර්ග අංක 79 පේරාදෙණිය. කෑගල්ල හරහා එන හොරණ ඩිපෝවේ බස් එකක් තිබුණා. තත්පරයක්වත් නොසිතා ගොඩවී වාඩි වුණා. වෙනදාට පේරාදෙණියේ ඉඳලා නිට්ටඹුවට එනකල් මාර වාහන තදබදයක් තියෙන්නේ. දැන් තෙල් පෝලිම් නිසා සාමාන්‍ය තදබදය තුන්හතර ගුණයකින් වැඩි ඇති. අමතර වැඩියෙන් ගතවන පැය තුන හතරකට හිත හදාගත්තා මුලදීම.

බස් එක පිටත් වෙන්න තව පැය භාගයක් විතර තියෙනවා. ඉතිරි සීට් ටිකත් වැඩි කලබලයක් නැතිවම පිරී යනවා. එක විශේෂයක් තියෙනවා. මේ එන අයගෙන් වයස් භේදයක් නැතිව සීයට හැත්තෑවක් විතර අමතර මල්ලක් එල්ලාගෙන. කිලෝ පහක්… හතක්… දහයක් වගේ. කෙනෙක් දෙන්නෙක් කිලෝ විසිපහක තිහක තරමේ මලුත් ගෙනාවා. ඩිකියට දැම්මා. ඒ මලුවල, හාල් ටිකක්… එළවළු ටිකක් වගේ දේවල්. පොල් නම් නෑනේ වැලිමඩ. අගනගරයේ ජීවන බර ටිකක් හරි අඩුකර ගන්න ගෙනියන බඩු මලු. මඩු මළු විතරක් නෙවෙයි හෙට ගැන අවම හෝ විශ්වාසයකුත් මළුවල පොදි බැඳ තිබුණා.

බස් එක පිටත් වෙන්න කිට්ටුව සෙනග පිරිලා. නුවරඑළියට එන අය හිටගෙන තෙරපෙනවා. අගනගරයේ ජීවිතය කොහොම හරි ගැටගහ ගන්න හිතාගෙන ඉන්න මිනිසුන් එක්ක බස් එක පිටත් වුණා. පේරාදෙණියට එනකල් පාරේ තදබදයක් නෑ කොහොමත්. පේරාදෙණිය හන්දිය පහු කළා. මෙන්න බොලේ වැඩක්….! ඉස්සෙල්ලා වගේම පිඹගෙන එනවා. පිළිමතලාව, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල කිසිම වාහන තදබදයක් නෑ. තෙල් පෝලිම් තියෙනවා තමයි… ඒත් කිසිම බාධාවක් නැතිව පිඹගෙනම එනවා.

දවස් පහකට ඉස්සෙල්ලා දැක්ක ඒ මිනිස්සුද මේ! බලාපොරොත්තුවේ, විශ්වාසයේ, හැඟීමේ, ප‍්‍රාණවත් බවේ ඡායාමාත‍්‍රයක් වත් හොයා ගන්න බැරි මුහුණු! ඒව හොයලා වැඩක් නෑ. මේවා ගැන සිතීම කිසාගෝතමී කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සෙවුවා වගේ. මිනිසුන්ගේ ”මුහුණුවල අන්තිම ලේ කඳුලක් සිඳී ගිය සතියක්”! සතියක් කීවාට සතියක් නෑ. දවස් පහක් !!

යුක්රේනයේ ඉන්න ඇමෙරිකානු රූකඩ පාලකයෙක් වන විලැද්මීර් සෙලෙන්ස්කි නිසා ඒ රට සල්ලාඩයක් වෙලා යනවා. පාස්කු ප‍්‍රහාරයෙන් බලයට ආව ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ නිසා මේ රටේ මිනිසුන් සුළඟට ඇදගෙන යන පරඬැල් වෙලා. අගනුවරින් ඈත ප්‍රදේශවලට විසිවී යනවා.

ඔව්.. ඔබත් සමීපතමයාගේ මුහුණ හොඳින් බලන්න. ඒ මුහුණුවල අන්තිම ලේ කඳුලක් සිඳී ගිහින් නැද්ද!

නන්දිමිත්‍රගේ සතියේ සටහන

Facebook
Twitter
LinkedIn