මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් දැක්වෙන සංවේදී ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් මෙලෙස අසරණ තත්වයට පත්ව විභාගයට පෙනී සිටින බව ය.
මෙම ගොඩනැගිල්ලෙන් වැසි ජලය කාන්දු වීම හරහා විභාග අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂවරයෙකු ප්‍රකාශ කළේ, මෙම පාසල සම්බන්ධයෙන් සොයා බලා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බවය.
කෙසේ වෙතත්, එම පාසල කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
වැස්සට කුඩ ඉහලාගෙන විභාගය ලිවීම හරහා සිසු සිසුවියන්ට දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.
ඇතැමෙකු මෙය මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියූ සිසු සිසුවියන් පිරිසක් මුහුණු දුන් අත්දැකීමක් ලෙස පවසන අත, තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ මෙය මීට පෙර වසරක වූ සිදුවීමක් බවය.










