මැදපෙරදිග උණුසුම් කරමින් ඉරානය ඩ්‍රෝන යානා සංචිතය හෙළිකරයි

මැදපෙරදිග උණුසුම් කරමින් ඉරානය ඩ්‍රෝන යානා සංචිතය හෙළිකරයි

මැදපෙරදිග කලාපයේ ශක්තිමත්ම හමුදාවක් සහිත ඉරානය තමන් සතුව පවතින නියමුවන් රහිත ප්‍රහාරක යානා සම්බන්ධයෙන් ඡායාරූප සහිතව පසුගියදා හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.

ඉරානය සිය යුද හමුදා ඩ්‍රෝන යානා නවත්වා ඇති භූගත කඳවුරක ඡායාරූප කිහිපයක් මෙලෙස ප්‍රසිද්ධියට පත් කර ඇතත් එම කඳවුර පිහිටි ස්ථානය කොතනද යන්න අනාවරණය කර නැත. කෙසේ වෙතත් මෙම ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගින්ම ගල්ෆ් කලාපය තුළ යම් කැලඹිලි තත්වයක් මතුව ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. ඉරාන රජයේ මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම භූගත කඳවුර තුළ ආසන්න වශයෙන් ඩ්‍රෝන යානා 100ක් පමණ රදවා තිබේ.

ඉරානයේ සරොස් කඳුවැටියේ මෙම කඳවුර පිහිටා ඇති බවට සැක කෙරන අතර උමගක් ආකාරයෙන් ඉදි කර ඇති මෙම කඳවුරේ පිහිටි ඩ්‍රෝන යානා සියල්ලකම ඉරානයේ නිෂ්පාදිත Qaem-9 මිසයිල සවිකර ඇති ආකාරයද මෙම ඡායාරූපවල සටහන්ව ඇත. මෙම ඩ්‍රෝන යානා අතර Ababil-5 ඇතුළු ඉරානයේ නිපදවූ නවීනතම මාදිලියේ ඩ්‍රෝන යානා සහ මිසයිල රැසක් දක්නට ඇතැයි පැවසේ.

ඉරානය කලාපයේ බලවත්ම හමුදාව බවට සැකයක් නැති බව පවසන ඉරාන හමුදාපති, මේජර් ජෙනරාල් අබ්දුල්රහීම් වැඩිදුරටත් පවසන්නේ ඩ්‍රෝන යානා වැඩිදියුණු කිරීමේ අපගේ හැකියාව කිසිදු ආකාරයකින් නතර කළ නොහැකි බවයි.

Facebook
Twitter
LinkedIn