නව ආණ්ඩු පෙරළියත් සමග දේශපාලනය දිනෙන් දින වෙනස් වෙමින් පවතී. එම දේශපාලන චලනයත් සමග අනාථ වූවෝ කිහිපදෙනෙක්ද සිටිති. මේ අනාථ වූවන්ගේ ප‍්‍රධානියා ලෙස කැපී පෙනෙන්නේ විමල් වීරවංශය. ඔහු ආණ්ඩු බලය තිබෙන කාලයේ විශාල ලෙස විපක්ෂයේ පුද්ගලයින්ට චෝදනා එල්ල කළ පුද්ගලයෙකි. කෙසේ වෙතත් අයගේ බිරිඳගේ හොර පාස්පෝට් මගඩිය නිසා ඔහුට කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටී. මේ දිනවල වීරවංශ බිරිඳ දේවාල ගානේ ගොස් වත්මන් ආණ්ඩුව බේදභින්න වෙන ලෙස දෙවියන්ට කන්නලව් කරමින් සිටියි. විමල් වීරවංශගේ උත්සාහය වූයේ මහින්ද රාජපක්ෂ දේශපාලනයේ තබාගෙන ඔහුගේ ආශිර්වාදයෙන් තවදුරටත් දේශපාලනයේ නිරතවීමටය. නමුත් එම සියලූ ප‍්‍රයත්නයන් මේ වනවිට අසාර්ථක වෙමින් තිබේ. අනෙක් දේශපාලන අනාථයා වන්නේ උදය ගම්මන්පිලය. ඔහු හෙළ උරුමයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට ‘පිවිතුරු හෙළඋරුමය’ හදාගත්තේය. නමුත් මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඔහුට පක්ෂ සාමාජිකයින් පවා අහිමිවෙන තත්වයක් උදාවී තිබේ. ඔහු සමග සිටි කණ්ඩායමේ ප‍්‍රධානීන් හත්දෙනෙක් ඔවුන්ගේ මහගෙදර වන ජාතික හෙළ උරුමයට පිල මාරු කළෝය.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකටද උන්හිටි තැන් අහිමිවන තැනකට පත්ව තිබේ. ඇයගේ ප‍්‍රධාන අරමුණ වූයේ ශ‍්‍රීලනිපයේ නායකත්වය තමන් යටතට ගැනීමය. ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශ‍්‍රීලනිපයේ සභාපති ධුරය අත්පත් කර ගනිමින් ගරු චරිතයකට පණපෙවීම ඇගේ අපේක්ෂාව විය. ඒ බව ඇය මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා බව හෙළිකිරීමට පැවැත්වූ මාධ්‍ය හමුවේදී නොකියා කීවේය. නමුත් මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රීලනිප සභාපති ධුරය ඔහුට හිමිවිය. දැන් චන්ද්‍රිකාගේ සිහිනය බොඳවී තිබේ. මේ අතර මංගල සමරවීරට විදේශ කටයුතු අමාත්‍යංශය සමග ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් ලැබුණේය. නමුත් එය භාරදුන්නේ ටෙලිකොම් සභාපතිවරයා පත්කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි. එම සභාපතිවරයා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ සහෝදරයෙකුවීම සුවිශේෂී තත්වයකි. මංගලට ලැබුණු ආයතනයේ සභාපතිවරයා පත්කරගැනීමටවත් ඔහුට අවස්ථාව නොලැබුණේය.









