ගෝඨාභය මිලිටරි ඒකාධිපතියෙකු වීමේ සිහිනයක

අද (11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ලබන 16 වෙනිදා දක්වා කල් තැබීම ගෝඨාභය රාජපක්ෂ මිලිටරි ඒකාධිපතියෙකු වීමේ උපක්‍රමයක් දැයි බලවත් සැකයක් දේශපාලන විශ්ලේෂකයන් මතු කරති.

මේ වනවිට අගමැති ඉල්ලා අස්වීම නිසා කැබිනට් මණ්ඩලයත් නොමැති තත්වයක් තුළ එම ඇමතිවරුන්ගේ සියලු බලතලද ජනාධිපති වෙත කේන්ද්‍ර ගත වී ඇත. එසේම හදිසි නීතිය පනවා රට තුළ ඇඳිරි නීතියද පනවා ඇති අතර මහජන දේපළවලට හානි කරන්නන් හට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට අණ දී ඇත. මේ අනුව මහජන දේපල හානි කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් ඕනෑම සිවිල් වැසියෙකුට වෙඩි තැබීමේ හැකියාව ආරක්ෂක අංශවලට ලබාදී තිබෙන පසුබිමක උපක්‍රමශීලිව පාර්ලිමේන්තුව අක්‍රිය කර තිබේ.

අද පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් තබා ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ යැයි කියමින් ය. නමුත් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැපයීමට පවා අසමත් වී තිබෙන්නේ දැයි දේශපාලන විශ්ලේෂකයන් ප්‍රශ්න කරමින් සිටිති.

ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර දැන් මතුකරමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව තර්කයට ඉදිරියට දමා එදින රැස්වේ දැයි මේ වන විට ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ.

Facebook
Twitter
LinkedIn