සීනි බදු වංචාවෙන් රජයට අහිමි වූ ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසමත් කියයි

සීනි බදු වංචාවෙන් රජයට අහිමි වූ ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසමත් කියයි

සීනි බදු අඩු කිරීම මගින් රජයට අහිමිවූ බදු ආදායම අදාල පාර්ෂවවලින් අය කර ගත යුතු බවට රජයේ විගණකාධිපතිවරයා ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු රෝහිණී මාරසිංහ අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ස්ව්‍යං මැදිහත්වීමක් සඳහා පවතින ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා විසින් සීනි බදු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය පිළිබඳව කරුණු ඇතුළත්ව ඉදිරිපත් කර ඇති වාර්තාවක් කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභව සිය අවධාරනය යොමු කර ඇති බවය.

ඒ අනුව රාජ්‍ය බලය අයුතු ලෙස සහ අත්තනෝමතික ලෙස භාවිත කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්නේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝණය වීමට ඉඩ ඇති බැවින් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය රජයට නිර්දේශ කර තිබිණි. එම කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සීනි කිලෝ එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යනය සඳහා සිදු කළ විශේෂ විගණනයට අදාලවයි.

2020 වසරේ ඔක්තෝබර් 14 වනදා සිට එතෙක් සීනි කිලෝ එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු ආණ්ඩුව පියවර ගන්නා ලදී. මෙම විගණනයේදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා කළ 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා සිට සීනි සඳහා පැවති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වනදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි. අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස වරින්වර පෞද්ගලික අංශයේ ආනයන කරුවන් මගින් වැඩි මිලට සීනි මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර තිබේ. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තෝබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වූ මාසය කිහිලය තුළ පමණක් පිරමීඩ් විල්මා ආයතනය සීනි ආනයනය 1,222%කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

Facebook
Twitter
LinkedIn