ආර්ථිකය දුවවන තෙල් විදුලිය ගෑස් බිඳ වැටීම මෙන්න

ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ආර්ථික යාන්ත්‍රනය ධාවනය කිරීමට යොදා ගන්නා බලශක්ති මූලාශ්‍ර බිඳ වැටීම පිළිබඳව බීබීසී සන්දේශය වෙබ් අඩවිය නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එය ඒ ආකාරයෙන්ම පහත පළ කෙරේ.

ඩීසල් නැති අතරේ ජල විදුලිය නිපදවන ජලාශ හිඳෙයි

ඩීසල් ටොන් 37,500ක් රැගත් නෞකාවෙන් සැලසුම් කළ පරිදි ඉන්ධන ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ හේතුවෙන් අද (මාර්තු 30) සහ හෙට (මාර්තු 31) ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ඔහු සහතික කළේ ය.

පෙට්‍රල් බෙදාහැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව ද ඛණිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම් පවතින වාතාවරණයක් තුළ මෙම තත්ත්වය උද්ගතව තිබේ.

පැය 10ක් විදුලියත් කැපේ

අද පැය 10ක දීර්ඝ විදුලිය කප්පාදු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත.

මෙගාවොට් 750MW තාප විදුලි ධාරිතාවක් උත්පාදනය කරන බලාගාර සඳහා ඉන්ධන නොමැතිකම ඊට හේතුව යි.

ඒ අනුව A, B, C, D, E, F කාණ්ඩයට අයත් ප්‍රදේශවලට අද පස්වරු 2 සිට 12 අතර පැය 10ක් ද, G, H, I, J, K, L ප්‍රදේශවලට පෙරවරු 8 සිට පස්වරු 2 අතර පැය හයක් ද, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය හතරක් ද විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

P, Q, R, S කාණ්ඩයට අයත් ප්‍රදේශවලට සවස 2 සිට රාත්‍රී 12 දක්වා පැය 10ක් ද, සහ T, U, V, W ප්‍රදේශවලට උදේ 8 සිට 2 අතර පැය හයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය හතරක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

මීට අමතරව M, N, O, X, Y, Z ප්‍රදේශවලට උදේ 8 සිට සවස 6 අතර පැය 10ක් විදුලි සැපයුම කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ ය.

නිමක් නැති ගෑස් පෝලිම්

දිවයින පුරා පවතින ගෑස් හිඟයට ද මෙතෙක් විසඳුම් ලැබී නැත.

මේ වන විට ප්‍රධාන සමාගම් දෙක මඟින්ම ගෑස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ ද ගෑස් සඳහා පවතින පෝලිම්වල අඩුවක් දක්නට නොලැබේ. ලිට්‍රෝ සමාගම පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ මෙරටට ළඟා වූ බව යි.

ඉන් ගෑස් ගොඩබෑම අද ආරම්භ කිරීමට නියමිත යි.

ඊයේ දිනයේ ගෑස් සිලින්ඩර් 110 000ක් වෙළෙඳපොලට නිකුත් කළබව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය ඉතා පහළ මට්ටමක

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වන විට ඉතාමත් අවම තත්ත්වයක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැ යි විදුලිබල අමාත්‍යාංශය පැවසීය.

මේ වන විට දිවයිනටම බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලි බලය උත්පාදනය සඳහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වන විටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි.

කාසල්රි ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 15.34 දක්වා පහළ බැස ඇති අතර, උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැකි පිටාර මට්ටමේ සිට මීටර් 19.0 වන තෙක් පමණි. ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 07.3ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවෙන් 07.7%කි.

මාඋස්සාකැලේ ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.69 දක්වා පහත බැස ඇත. උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැකි පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වන තෙක් පමණි. ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ගිගාවොට් පැය 77.7, සමස්ත ධාරිතාවෙන් 27.4%කි.

සමනල වැව ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 25.20 දක්වා පහත බැස තිබේ. ජලාශයේ ජලය උපරිම වශයෙන් අඩුකළ හැකි පිටාර මට්ටමේ සිට මීටර් 31 වන තෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැකි විදුලි ඒකක ගිගාවොට් පැය 15.2, සමස්ත ධාරිතාවෙන් 11.4%කි.

මෙහි අන්තර්ගතය නැතවැඩිදුරටත් Facebook බලන්න බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

විදුලිබල උත්පාදනය කෙරෙනා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේ වන විට පවතින ජල මට්ටම් මෙසේ ය:

කොත්මලේ ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.97 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ ජලය උපරිම වශයෙන් අඩුකළ හැකි වන්නේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැකි විදුලි ඒකක ගණන ගිගාවොට් පැය 29.0ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 20.3%කි.

වික්ටෝරියා ජලාශය : ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 27.49 දක්වා පහත බැස ඇත. ජලාශයේ ජල මට්ටම උපරිම වශයෙන් අඩුකළ හැකි සීමාව පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ගණන ගිගාවොට් පැය 133.3ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 30.1කි.

මහවැලි ජලාශවලින් රටේ පානීය ජල අවශ්‍යතාව සහ කෘෂිකාර්මික කටයුතුවලට ද ප්‍රමුඛතාවකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශවලින් ජල විදුලි බලය ජනනයයට ජලය මුදාහැරීම ද සීමා කළයුතුව ඇත.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යල කන්නයට ජලය නිකුත් කිරීම

යල කන්නනයට ජලය නිකුත් කිරීම අප්‍රේල් මස මුල් සතියේ සිට අවසන් සතිය දක්වා ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

දැනටමත් අම්පාර දිස්ත්‍රික්කයේ එම කටයුතු ආරම්භකර ඇත.

යල කන්නය සඳහා ප්‍රමාණවත් ජලය පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කෙසේ වෙතත්, නිසි කළමනාකරණයකින් යුතුව ප්‍රවේශමනේ ජලය භාවිතයට ගැනීමේ අවශ්‍යතාව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.

මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්ෂ අටක පමණ වී වගාව සිදුකෙරෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව මහා වාරි ව්‍යාපාර 354ක් පවතින අතර, ප්‍රදේශයෙන් ප්‍රදේශයට කන්න රැස්වීම් පවත්වා යල කන්නයේ කෘෂිකර්මාන්තයට සහ පානීය ජල අවශ්‍යතා සඳහා ජල නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn