2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇත.
ඒ ඔවුන්ට එරෙහි එම චෝදනා පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දීම හේතුවෙනි.
ඒ අනුව එම චෝදනාවලින් පමණක් අදාළ විත්තිකරුවන් නිදහස් කරන බවත් විනිසුරුවරු නියෝග කර තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එය අද (04) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබාදී තිබුණි.
බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා, පොදු දේපළ පනතේ 07 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බව සඳහන් කර ඇත.
එහෙත් මෙම නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බවද විනිසුරුවරයා දන්වා තිබේ.
ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනාවලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනාද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කර ඇත.
එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා හැකි බවය.
මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ හිටපු ඇමති රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමගම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වන බව සඳහන් කර තිබේ.
මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බව පවසා ඇත.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනාවලට අදාළ විභාගය පැවැත්වීම සඳහා “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා මැයි මස 04 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.










