ලංකාව පතුළටම වැටෙයි… කුසගින්න නිසා පියෙක් දිවි නසාගනියි…

ලංකාව පතුළටම වැටෙයි… කුසගින්න නිසා පියෙක් දිවි නසාගනියි…

තම දරුවන්ටගේ කුසගින්න නිවීමට නොහැකිවීම හේතුවෙන් ඇතුවූ පීඩනය දරාගැනීමට නොහැකිවූ වැලිපැන්න ප්‍රදේශයේ පියෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

එම මරණ පරීක්ෂයේදී වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ “දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා. එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා…” යනුවෙනි.

ගෙල වැලලාගෙන මියගිය වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් 37 හැවිරිදි සිව්දරු පියෙකි. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන 30 හැවිරිදි මාඩසාමි මංජුලා නමැති අය මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,

“මියගොස් සිටින්නේ මගේ සැමියායි. අප විවාහ වෙලා අවුරුදු 14ක් වෙනවා. අපට අවුරුදු 12ට අඩු දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පුතාලා තිදෙනකු සහ එක දියණියක සිටිනවා. අපි තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල සිට මීට මාස 09කට පෙර සැමියාට රැකියාවක් සොයාගෙන වැලිපැන්නට ආවා.

මගේ සැමියාට ස්ථීර රැකියාවක් නැහැ. ඔහු කුලී වැඩක් කරලා ගන්න මුදලිනුයි අපි ජීවත්වුණේ. අපිට ඉන්න ස්ථීර ගෙයක් නැහැ. රුපියල් 3,500ක කුලියට ගත්ත කාමරයකයි අපි සිටියේ. අපිට ස්ථීර පදිංචියක් නැති නිසා දරුවන්ව පාසලකට දාන්න බැරිවුනා.

මගේ සැමියා වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් එළිකරන්න බාරගෙන තිබුනා. ඔහු ඒ සඳහා තවත් අයකු සම්බන්ධ කර ගත්තා. එම පුද්ගලයා සැමියාගෙන් වැඩිපුර මුදල් ලබාගෙන තිබුණා. ඉඩම හිමි අය නියමිත මුදල නොදුන් බව සැමියා කිව්වා. පසුගිය දින කීපයේම සැමියාට වැඩක් ලැබුණේ නැහැ.

දින තුනක සිට නිවසේ කෑමට කිසිවක් තිබුනේ නැහැ. අපිට කවුරුවත් ණයට මුදලක් හෝ බඩු දුන්නේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා කනස්සල්ලෙන් සිටියේ. ඔහු පසුගිය සිකුරාදා කීයක් හරි හොයාගෙන එන්නම් කියලා නිවසින් පිටවී ගියා. එයා එදින රාත්‍රියේ පැමිණියේ නැහැ. පසුදින දරුවන්ව තවත් බඩගින්නේ තියන්න බැරි නිසා මම නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා. සැමියාට දුරකථන ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

පසුව සැමියා ඥාතියකුගේ නිවසක් අසල ගෙළවැලලාගෙන මියගොස් ඇති බව දැනගන්න ලැබුනා.

අසරණ අපට කාගෙන්වත් පිළිසරණක් තිබුනේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා මෙසේ සියදිවි හානිකරගන්න ඇතැයි සිතනවා. දැන් මම මගේ දරුවන් හතරදෙනා සමග තනිවුනා. දරුවන් කුඩා නිසා මට රැකියාවකට යන්නත් බැහැ. මමත් දරුවනුත් තවත් අසරණ වුණා” යනුවෙනි.

සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මියගිය අයගේ මෘත දේහය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල ජයනෙත්ති විසින් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn