ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (24) සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් අද (24) පෙරවරු 11න් පසු ප්‍රකාශ කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව අද දින සිටම විදුලිය කප්පාදු කරන්නේනම් අද පස්වරුවේ පැයක කාලයකුත් හෙට (25) සිට දිනකට පැය 2.5ක කාලයක්ද විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයිද එහි ආරංචිමාර්ග සඳහන් කරයි. එම ආරංචිමාර්ග අනුව හෙට සිට දහවල් කාලයේ පැයක පමණ කාලයක්ද රාත්‍රී කාලයේ පැය එකහමාරක පමණ කාලයක්ද විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇත.
ඉන්ධන නොමැතිකම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර මුළුමනින්ම අක්‍රීය තත්වයේ පවතී. සපුගස්කන්ද බලාගාරයෙන් පමණක් මෙගාවොට් 108ක ධාරිතාවක් විදුලි බල පද්ධතියට සපයමින් තිබිණි.
මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක එක් ජනන යන්ත්‍රයක් මාස කිහිපයක සිටම ක්‍රියා විරහිත තත්වයේ පසුවේ.
විශේෂයෙන් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් බැස යන තත්වය තුළ ජල විදුලි ජනනයද 25%කට පමණ ප්‍රමාණයකට සීමා වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා පවසන්නේ විදුලිය කපාහැරීමේ කාලසටහන අද ප්‍රකාශයට පත් කරන බවය.
මේ වනවිට දිනක උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2,630ක් වන නමුත් වර්තමානයේ දිනක විදුලි ජනනය මෙගාවොට් 2,467ක් බවද වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා අනාවරණය කරයි.
මෙගාවොට් 60ක ධාරිතාවයක් සහිත පාවෙන බලාගාරයට අවශ්‍ය දැවි තෙල් තොග හෙට දිනයෙන් අවසන් වන බවද ඊට අවශ්‍ය දැවි තෙල් නොලැබුණහොත් තවත් මෙගාවොට් 183ක් විදුලි බල පද්දතියට අහිමිවනු ඇති බවද ඔහු සඳහන් කරයි.










