හෙට සිටම විදුලිය කපන්න වෙනවා… ඉංජිනේරුවරු කියති…

හෙට සිටම විදුලිය කපන්න වෙනවා… ඉංජිනේරුවරු කියති…

පවතින තත්වය අනුව හෙට (24) සිටම විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මේ වනවිට බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණ ඇතැයිද ඔවූහු අවධාරණය කරති.

විදුලිබල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලිය නිෂ්පාදනය ඊයේ (22) දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 25%ක් දක්වා පහළ බැස තිබූ අතර ගල්අඟුරු, ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය 72% දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක පමණ ධාරිතාවක් එක් කරන සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවිතෙල් අවසන්වීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම එහි ක්‍රියාකාරීත්වය අක්‍රිය වී තිබේ.

විදුලි ඉංජිනේරු සංගමය අනාවරණ කරන ආකාරයට මෙගාවොට් 60ක පමණ කොළඹ වරායේ ස්ථාපිත පාවෙන විදුලි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් පවතින්නේ තවත් දින එකහමාරක පමණ කාලයකටය.

මෙගාවොට් 24ක ධාරිතාවක් සහිත උතුරු ජනනී විදුලි බලාගාරයේද දැවිතෙල් හා ඩීසල් අවසන්වෙමින් ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනය වනවිට මෙගාවොට් 183ක් පමණ ජාතික පද්ධතියට අහිමිවීමට නියමිතය.

ඒ අතරවාරයේ ජාතික පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කරන යුගදනවි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් අනිවාර්යයෙන් ආනයනය කළ යුතුව තිබේ.

විදුලි අර්බුදය මෙලෙස උග්‍රවී ඇත්තේ ජල විදුලිය නිෂ්පාදනය පහත බැසීම හා නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති පසුබිමකය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්