ඇඹිලිපිටියේ රැඳවියෙකු ඝාතනය කරලා – ඥාතීහු කියති

ඇඹිලිපිටියේ රැඳවියෙකු ඝාතනය කරලා – ඥාතීහු කියති

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියාට පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

මාතර කනංකේ කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති මෙම පුද්ගලයාට පසුගිය වසරේ මාර්තු මාසයේදී, රුපියල් 10,000ක මුදලක් සොරකම් කිරීමේ චෝදනාවකට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම වී තිබේ. පසුව ඔහු ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරට යොමු කර සිට ඇත.

ඒ අනුව ඔහුගේ ඥාතීන් පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා එම එළිමහන් කඳවුරට යන අතර තමා එළිමහන් කඳවුරේදී මුහුණ දුන් කටුක අත්දැකීම් සම්බන්ධයෙන් චමින්ද එහිදී සිය දියණියට පවසා තිබී ඇත.

ඔහුගේ දියණිය වන දිලානි මංජුලා ඒ සම්බන්ධයෙන් පවසන්නේ “වැඩ වැඩියි පුතේ.. සල්ලි දෙනවනම් වැඩ අඩුවෙන් දෙන්නම් කිව්වා.” යනුවෙනි. ඉන් පසු ඇයට පසුගිය 09 වැනිදා බන්ධනාගාර නිලධාරියෙකු දුරකථ ඇමතුමක් ලබාදී තීබේ. ඇය පවසන්නේ “නිලධාරියෙක් කතා කරලා තාත්තට දීලා ආයේ රෑට ගන්නම් කිව්වා. රෑට ගන්න ඕනේ නෑනේ පවුල අවුල් යයි කියලා මට බය හිතුණා.”

බන් පසු පසුගිය10 වැනිදා හදිසියේම ඇයට නාඳුනන ජංගම දුරකථන අංකයකින් ඇමතුමක් ලැබී තිබිණි. “තාත්තා හෙමින් කතා කළේ ඇහුණේ නැහැ. ඔයාට මාව ආයේ බලන්න වෙන්නේ නැහැ දුවේ.. කිව්වා පස්සේ කට්වුණා.” යැයි ඇය ඒ සම්බන්ධයෙන් පවසයි.

පියාගේ ඇමතුමෙන් දින තුනකට පසු ඔහු කඳවුරෙන් පළා ගොස් ඇති බවට චමින්දගේ ඥාතින්ට පණිවිඩයක් ලැබී තිබුණි.

“විවිධ හේතු කිව්වා. පස්සේ කනංකේ පොලීසියෙන් කතා කරලා කිව්වා තාත්තා මැරිලා කියලා. මම ගියා ඉස්පිරිතාලෙට. තාත්තා බල්ලෙක් වගේ මරලා දාලා තිබ්බා.” යැයි ඇය පවසයි.

“කුඩු, සිගරට් ගේන විදිහ තාත්තා කියලා ලොකු අයට. ඒ නිසා මරලා තියෙන්නේ. මම දැක්කා තාත්තගේ යටිපතුල්වලින් ලේ ගලනවා. ඒ වගේම නිල්වෙලා. මගේ තාත්තට සාධාරණයක් කරන්න.” යැයිද ඇය පවසයි.

49 හැවිරිදි තිදරු පියෙක් වන මියගිය ලලිත් චමින්දගේ අවසන් කටයුතු පසුගිය 18 වනදා සිදුකෙරුණු අතර, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ලලිත් චමින්දගේ ඥාතීන්ව අද (22) ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැඳවා තිබුණි.

කෙසේවෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ සහකාර අධිකාරිවරයෙක් යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්