ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට සුදුසුකම් ලබයි

ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට සුදුසුකම් ලබයි

අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ අතිවිශිෂ්ඨ පිතිහරඹයි හේතුවෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ශූරයන් වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඊයේ (21) රාත්‍රී සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේද පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල ක්‍රීඩකයෝ ලකුණු 23 කින් දඹුල්ල ජයන්ට්ස් පිල පරාජය කරනු ලැබුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 210ක දැවැන්ත ඉලක්කයට අභියෝගයක් එල්ල කරමින් සිටියදීය. ජයග්‍රහණය සඳහා හඹා ගිය දඹුල්ල පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු නවයකට ලකුණු 187ක් පමණි. හුදකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න පන්දු 47කදී නොදැවී ලකුණු 75ක් රැස් කළ අතර, එය මෙවර ඒල්.පී.එල්. තරගවාරයේ දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවෙකු ක්‍රීඩා කළ ඉහළම ඉනිමද විය.

දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 20 තුළදී කඩුලු හතරක් දැවී ලකුණු 210 ක් රැස් කිරීමට සමත් විය. මෙය එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 200 සීමාව පසු කර ගිය 08වැනි අවස්ථාව වේ. එසේම එල්.පී.එල්. තරග ඉතිහාසයේ සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් විය. මෙම වාර්තාගත ලකුණු පුවරුවේ ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා බවට ආරම්භක පිතිකරු යුගලය වන අවිෂ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් පත් විය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 122ක වාර්තාගත සබඳතාවක් පැවැත්වූ අතර, එය එල්.පී.එල්. ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. එමෙන්ම මෙය එල්. පී.එල්. ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ දෙවැනි හොඳම ලකුණු සබඳතාවද විය.මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් රැස් කිරීමට සමත් වූ අතර, එය මෙවර තරගවාරයේ වාර්තා වූ පළමු ශතක ඉනිමද විය. එල්.පී.එල්. ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ ශතක ඉනිම් දෙකක් පමණි.

මෙවර එල්.පී.එල්. තරඟාවලියේ අවසන් මහා තරඟය භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල අතර සූරියවැව ක්‍රීඩාංගණයේදී අනිද්දා (23) රාත්‍රී පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn