චීනයේ සේද මාවතට මුහුණ දීමට යුරෝපා සංගමයෙනුත් ව්‍යාපෘතියක් !

චීනයේ සේද මාවතට මුහුණ දීමට යුරෝපා සංගමයෙනුත් ව්‍යාපෘතියක් !

චීනය විසින් ලොව පුරා තම නිෂ්පාදන විකිණීම ඉලක්ක කරමින් දියත් කර (One Belt, One Road) තිබෙන යටිතල පහසුකම් සංවර්ධනය ව්‍යාපෘතිය සමග තරඟ කිරීම සඳහා යුරෝපා සංගමය විසින්ද ඩොලර් බිලියන 300ක් මුදලක් ආයෝජනය කරමින් “GLOBAL GATEWAY” නමින් නව වැඩසටහනක් අරඹා ඇත.

මේ ආකාරයටම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පසුගිය ජුනි මාසයේදී ඩොලර් බිලියන 1900ක් සම්මත කල අතර ඉන් ඩොලර් බිලියන 200ක් චීනය සමග වෙළඳ තරඟය සඳහා වෙන් කර තිබේ.

2013 දී චීන ජනාධිපති XI JINPING විසින් ආරම්හ කෙරුණු චීන සේද මාවතේ ව්‍යාපෘතිය තුලින් රටවල් 68ක් තුල මාර්ග, පාලම්, වරායන් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ආරම්හයෙදීම තීරණය කරනු ලැබූවේය. මෙම වැඩසටහන ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 40% ආවරණය වෙන බව CNN ලෝක සේවයද වාර්තා කළේය. වර්තමානය වන විට මෙම ව්‍යාපෘතියේ සමස්ථ ප්‍රාග්ධනය ඩොලර් බිලියන 3000ක් දක්වා ඉහල ගොස් ඇති අතර රටවල් 100ක් චීනය සමග ආර්ථික සම්මුතින් අත්සන් කරනු ලැබ ඇත.

ලෝක වෙළඳ සංගමයේ සාමාජික රටවල නිදහස් වෙළඳාම සඳහා ලබා දී ඇති පහසුකම් උපරිම ආකාරයෙන් භුක්ති විඳිමින් චීන නිෂ්පාදන ඉතා වේගයෙන් මෙම ව්‍යාපෘතිය මගින් ආනයනය කිරීමට මෙම One Belt, One Road වැඩසටහන මගින් චීනයට හැකියාව ලැබී ඇත. පසුගිය කාලයේ අප්‍රිකානු රාජ්‍යයන් වන ජිබුටි හා උගන්ඩාව තුල මෙන්ම බටහිර හා නේටෝ සාමාජික රටක් වන ඔස්ට්‍රේලියාව තුල පවා සිදුකල චීනයේ මෙම ආර්ථික ව්‍යාප්තවාදය හේතුවෙන් එම රටවල ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවට චීනයට චෝදනා එල්ල වෙමින් පවතී .

මෙම තත්වය තවත් උග්‍ර වනුයේ ට්‍රම්ප් පාලනය විසින් ආරම්භ කරනු ලැබූ ආර්ථික ආරක්‍ෂණවාදී ක්‍රමවේදයන් හේතුවෙන් වන අතර එහිදී නේටෝ සාමාජිකයින් පවා දැඩි ව්‍යාකුල තත්වයකට පත් කරනු ලැබීය. බයිඩන් බලයට පත්වූ වහාම ඇමරිකාව හා යුරෝපා සංගමය රැස්වී ඉතා වේගයෙන් චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව පියවර රාශියක් ගැනීමට තීරණය කරනු ලැබ ඇත.

පසුගිය ජුනි මාසයේ රැස්වූ G7 කණ්ඩායමේ සමුළුවේදීත් වසරකට ඩොලර් බිලියන 100ක් අප්‍රිකාවේ, ආසියාවේ හා දකුණු ඇමරිකාවේ රටවල සංවර්ධනය සඳහා වෙන්කිරීමට තීරණය කෙරිණි. මෙහිදී ඇමරිකාව තම චීන විරෝධී ව්‍යාපෘතිය ලෙස “build back better world” ලෙස නම් කර සමුළුවට ඉදිරිපත් කරනු ලැබුවේය. එහි ප්‍රථිපලයක් ලෙස යුරෝපා සංගමයද දෙසැම්බර් 1 වැනිදා තම ප්‍රථම චීන විරෝධී ආර්ථික ව්‍යාපෘතිය “GLOBAL GATEWAY” ලෙස හඳුන්වා දෙසැම්බර් 1 වැනිදා සමාජ ගත කරනු ලැබුවේය.

ඒ අනුව යුරෝපා සංගමය විසින් වෙන් කරනු ලැබූ ඩොලර් බිලියන 300ක් මුදල නැගෙනහිර යුරෝපා රටවල, බෝල්කන් රාජ්‍යයන්හි, අප්‍රිකාව හා දකුණු ඇමරිකානු රටවල ඩිජිටල් තාක්‍ෂණය, සෞඛ්‍යය, පරිසරය, බලශක්තිය, අධ්‍යාපනය හා ගමනාගමනය සංවර්ධනය සඳහා වියදම් කෙරෙනු ඇත.

මෙම මුදල් යුරෝපා සංගමයේ මධ්‍යම බැංකුව මගින් ණය ලෙස ලබා දීමට නියමිත බව යුරෝපා සංගමයේ විධායක සභාව ලෙස සැලකෙන යුරෝපා කොමිසමෙහි සභාපතිනිය වන URSULA VON DER LEYEN මාධ්‍ය වෙත පවසා ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ඖෂධ හා එන්නත් නිෂ්පාදනය සඳහාත් අදාළ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහාදත් මෙම ණය පහසුකම් ලබාදෙන බවටද ඇය එහිදී සහතික වී තිබේ. චීනය විසින් ලබා දෙන ණය පහසුකම් කිසිදු විනිවිදභාවයක් නොමැති බවත්, ණය ලබා ගන්නා රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොගැනීම සමබන්ධයෙන්ද ඇය චීනයට චෝදනා කර සිටියාය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලන්ඩනයේ චීන තානාපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ලෝකය සම්බන්ධයෙන් කුඩා කණ්ඩායමක් විසින් තීරණ ගැනීමේ යුගය අවසන් බවත්, යුරෝපයේ හා ඇමරිකාවේ ලිබරල් මහත්වරු චීනයට අකමැති බවත්, කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා එන්නත් මගින් වැඩිම මැදිහත්වීම සිදුකලේ තමන් බවත්, තමන් සැමවිටම රාජතාන්ත්‍රික තලයේ ක්‍රියාත්මක වනුයේ රටවල බලය, දුර්වලතාවය, හෝ දුප්පත්-පොහොසත් බව හෝ අදාළ රටවල වර්ග සැතපුම් හෝ ප්‍රමාණය මත නොව සියළුම රටවල් සමානත්මතාවය මත සලකා” යන්න බව දැඩිව අවධාරණය කරමිනි.

Facebook
Twitter
LinkedIn