දේශීය මත්ස්‍ය නිෂ්පාදනය යුරෝපයට අපනයනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කර ගැනීම සඳහා ධීවර අමාත්‍යංශය විසින් නිලධාරීන් තිදෙනෙකු යවා දැරූ උත්සාහය අසාර්ථක වූ බව වැඩබලන ධීවර අමාත්‍ය සරත් ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට නම් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා මාස තුනක් තුළ සම්පූර්ණ කළ යුතු බව දන්වා ඇත. එහෙත් මෙරට බලධාරීන් විසින් එම කොන්දේසි කිසිවක් මේ වනතෙක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර මේ වනවිට සිදුවී ඇත්තේ යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය නිෂ්පාදන වෙත අමතර කොන්දේසි පැනවීමය.
මෙරට ධීවර යාත්‍රා 3000ක් පමණ ඉන්දියන් සාගරයේ ධීවර කර්මාන්තයේ නිරත වෙන අතර එම යාත්‍රා ‘‘ඉන්දියානු සාගර ටූනා කොමිසමේ’’ ලියාපදිංචි කරවීම අනිවාර්ය කළ යුතු බවත් එම යාත්‍රා සියල්ල තුළ චන්ද්‍රිකා තාක්ෂණ අධීක්ෂණ උපකරණ සවිකරන ලෙසත් සියළු පහසුකම් සහිතව ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කළයුතු බවත් යුරෝපා සංගමය අවධාරණය කර තිබිණ. එම කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් දඩ ලෙස ගෙවීමට මෙරට බලධාරීන් වෙත දන්වා තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක, රත්න ගමගේ මහතා අවධාරණය කළේ යුරෝපා සංගමය විසින් මෙරට මත්ස්‍ය නිෂ්පාදන වෙනුවෙන් ගෙන ඇති තීරණ ශ්‍රී ලාංකීය ධීවර කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ලකරන බවත් ඉතා කෙටි කලකින් මෙරට ධීවර කර්මාන්තය කඩා වැටීමේ අනතුරක් පවතින බවත් හෙළිකළේය.









