කෘෂි විද්‍යාඥ බුද්ධි මාරඹේ ගැන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය

කෘෂි විද්‍යාඥ බුද්ධි මාරඹේ ගැන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (25) ප්‍රකාශ කර සිටි අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකි. ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ධුරයට අමතරව කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික, කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක යන ධුරයන් හිද කටයුතු කරමින් සිටියේය. කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලද සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහට ලබා දුන් උපදෙස් අනුව බවය.

මහාචාර්ය මාරඹේ රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බවත් ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අයෙකු බවත්ව.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන්ද මහාචාර්ය මාරඹේට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් වේ.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය ඔහු කෙරෙහි යොමු වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මහාචාර්ය බුද්ධි මාරඹේ දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇතැයි මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Facebook
Twitter
LinkedIn