විරු සිසු ප‍්‍රතිමාව කඩා දැමීම කඩාකප්පල් කාරී ක්‍රියාවක්

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය ප‍්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ විරු සිසු ප‍්‍රතිමාව ඊයේ (07) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා විනාශ කර දමා ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ වූ භාණ්ඩ කිහිපයක් කොල්ල කා ඇතැයි රජරට වාර්තාවේ.

පසුගිය කාල සීමාව තුළ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දැඩි මර්දනයක් එල්ලකරමින් පාලනාධිකාරය ගෙන ගිය කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලට එරෙහිව සටන් වැද විශාල ජයග‍්‍රහණ අත්කර ගැනීමට මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය ප‍්‍රජාවට හැකි වූ අතර විශ්වවිද්‍යාලයයීය අභ්‍යන්තර ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාවේ යෙදී සිටියදී සමස්ථ සිසුන්ගේ ශ‍්‍රම සහභාගීත්වයෙන් ඉදි කරන ලද මෙම විරු සිසු ප‍්‍රතිමාව කඩා දැමීමේ කඩාකප්පල්කාරී ක‍්‍රියාව විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ සිදුව තිබීම විශේෂ සිදුවීමකි.

“එමෙන්ම තව දුරටත් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණය හා ප‍්‍රතිපාදන කප්පාදු කිරීමත් යන ජනහිතවාදී නොවන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හමුවේ දැඩිව සටන් වදින බවත් එබැවින් අප දැඩිව ප‍්‍රකාශ කොට සිටින්නේ මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියාව, මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය ප‍්‍රජාවගේ ප‍්‍රගතිශීලී සටන් දෙස බලා සිටිය නොහැකි ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් විසින් සිදු කරන බව” යැයි එහි මාහා ශිෂ්‍ය සංගමය පවසයි.

ඒ සඳහා ආරක්ෂක අංශ ඇතුලු විශ්වවිද්‍යාලයීය පරිපාලනය සෘජුවම සම්බන්ධ බවද අවධාරණය කර එම සිසුන් වැඩිදුරටත් පවසන්නේ “අප මෙහිදී අධ්‍යාපන බලධාරීන් ඇතුලු ආණ්ඩුවේ සියලු වගකිවයුත්තන්ට කියා සිටින්නේ මෙවැනි පිළිකුල් සහගත ක‍්‍රියාවන්ගෙන් ශිෂ්‍ය එකමුතුව හෝ ශිෂ්‍ය ව්‍යාපාරය බිඳහෙලිය නොහැකි බවත් මෙම ක‍්‍රියාවන්ගෙන් අප තවදුරටත් ශක්තිමත් වන බවත් මෙවන් ක‍්‍රියාවන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින” බවත් ය.

Facebook
Twitter
LinkedIn