බස් එකේ යන්න එන්නත්, එන්නත් කාඩ්එක ඕනවෙයි…

බස් එකේ යන්න එන්නත්, එන්නත් කාඩ්එක ඕනවෙයි…

තම සංගමයේ බස් රථවලට ගමන් ගන්නා මගීන් සතුව එන්නත් ලබා ගැනීමේ කාඩ්පත තිබීම අනිවාර්ය බවත් එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ හෙට (01) සිට අන්තර් පළාත් බස්රථ ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ බස්රථ සඳහා ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතු බවයි.

“ඩෙල්ටා වෛරසය හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා සංගමයක් විදියට මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න. මේ ගැන අද දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරනවා. දුර සේවා බස්රථවල යෑමේ දී එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30ට වැඩි සියලුම මගීන් එන්නත් ලබාගත් කාඩ් පතෙහි ඡායාරූපයක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුයි. ඡායාපිටපතක් අරගෙන තමයි බස්රථයට ගොඩවීමට අපි ඉඩදෙන්නේ. එහෙම නැති වුණොත් ද්විත්ව ආසනයකට එක් අයෙකුට යන්න වෙන්නේ. එතකොට ගාස්තුව දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී බස්රථ ආසනයට එක්කෙනා බැගින් ගෙනියනවා. ඒ බස්රථවලත් ඡායාපිටපත අනිවාර්යයි. අපි සැලසුම් කරනවා ආසනයෙන් එක් අයෙක් යනවා නම් ගාස්තුවෙන් එකහමාරක ප්‍රමාණයක් අය කරන්න.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්