එක් මාසයකට කොරෝනා ආසාදිතයන් 4000කට වඩා මිය යාමේ අවදානමක් – GMOA

එක් මාසයකට කොරෝනා ආසාදිතයන් 4000කට වඩා මිය යාමේ අවදානමක් – GMOA

ඉදිරි කාලයේදී මාසයකට කොවිඩ් වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින් සංඛ්‍යාව 4000ක් 4500ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසන්නේ, මෙම සංඛ්‍යාව යුද සමයේදී දිනකට මිය ගිය පුද්ගල සංඛ්‍යාව පවා අභිබවා යන තත්වයක් විය හැකි බවය.

“දිනකට මිය යන රෝගීන් සංඛ්‍යාව 50ට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් 4000ත් – 4500ත් අතර ප්‍රමාණයක් මිය යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. යුද්ධය පැවති සමයේදීවත් මෙපමණ මිනිසුන් මිය ගිහින් නැහැ. ජනතාව තේරුම්ගන්න ඕනි මේක ඉතාමත් භයානක අවස්ථාවක්.”

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති වීමේ අවදානම පවතින බැවින් ජනතාව එය තේරුම්ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවය.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ වනවිට සිදු කරමින් තිබෙන්නේ රටේ පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කරමින් සංචරණ සීමා ලිහිල් කිරීමේ ක්‍රියාවලියකය. හෙට දින සිට පළාත් අතර සංචරණ සීමා සඳහාද අවසර ලැබෙන අතර ලබන දෙවෙනිදා සිට රාජ්‍ය ආයතනවල 100%ක සේවක ධාරිතවය සහිතව වැඩ කිරීමේ ප්‍රතිපත්තියකටද ගොස් තිබේ. එය උක්ත සඳහන් අනතුරු දායක තත්වයට හාත්පසින්ම ප්‍රතිපක්ෂ කාරණයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්