ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති අල්ලස් නඩු 4කින් නිදහස්

ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති අල්ලස් නඩු 4කින් නිදහස්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩු 04කින් ඔහු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (27 වැනිදා) නියෝග කළේය.

2010 වසරේදී ලොතරැයි පත් ප්‍රවර්ධනය සඳහා ගිවිසුම් ගත වූ සමාගම් සමග කටයුතු නොකර වෙනත් සමාගම් සමග කටයුතු කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 640ක පාඩුවක් සිදුකර ඇතැයි චෝදනා නගමින් අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබිණි.

එහෙත් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම නඩු පැවරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතියකින් තොරව බැවින් විත්තිකරුට එරෙහි චෝදනා පත්‍ර නැවත නඩු පැවරීමේ කොන්දේසියට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බවයි.

එම ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මාස තුනක් ඇතුළත විත්තිකරුට එරෙහිව යළි නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට නියම කරමින් එම නියෝගය ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn