පැවති රනිල් + මෛත්රී පාලන සමයේ මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3,698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක පර්පචුවෙල් ට්රෙසරිස් සමාගමේ අධ්යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කර තිබේ.
මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොවත්ත (සභාපති), මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව අද (01) විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්රකාශයට පත් කර තිබේ.
මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සිය තීන්දුව ප්රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් ඒ මත විත්තිකරුවන් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර බාරයේ රඳවා තැබීමටත් නිර්දේශ කර ඇත.
දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කර තිබේ.
එමෙන්ම පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂි කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් බහුතර තීන්දුවට අනුව විත්තිකරුවන්ට ඇප දීමට තීරණය කර ඇත.
එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්ෂ 50 බැඟින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ඇප මත මුදා හැරීමට නියම කර තිබේ.
විත්තිකරුවනට විදේශ ගත වීම තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර අධිකරණයට බාර දීමට නියම කර ඇත.
අද පෙරවරුවේ රවී කරුණායනක ඇතුළු පිරිසට අදාළව ගොනු කර තිබූ බැඳුම්කර වංචාවේ දෙවෙනි වෙන්දේසියට අදාළ නඩුවෙන්ද ඇප මත නිදහස් කරන ලදී.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ්රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය මගහැර විදේශගතව සැඟවී සිටිති.









