පළිගැනීම් කොමිසම සීමාව පැනලා – නීතිපති

පළිගැනීම් කොමිසම සීමාව පැනලා – නීතිපති

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂ පත්කරන ලද ජනාධිපති කොමිසම බලතල ඉක්මවා කටයුතු කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

ඊයේ (30) එම අධිකරණය හමුවේ පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මේ බව ප්‍රකාශ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ විමර්ශන අනුව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවරා තිබෙන නඩු කිහිපයක් සම්බන්ධයෙන් පළිගැනීම් කොමිසම කර තිබෙන නිර්දේශ පිළිබඳව අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇත.

පළිගැනීම් කොමිසමේ සභාපති උපාලි අභයරත්න ප්‍රමුඛ පිරිස විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකළ නිර්දේශ අනුව නීතිපති දෙපාර්තමේන්තුව පවරා ඇති නඩු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් චූදිතයන් බවට පත්කරමින් ඔවුන්ට දඩුවම් පමුණුවන ලෙස පළිගැනීම් කොමිසම නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශ බල රහිත කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයේ රීට් ආඥාවක් ඉල්ලා තිබේ. එම දෙපාර්තමේන්තුවට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඇතුළු තවත් පිරිසක් පළිගැනීමේ කොමිසමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn