මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදහස්

මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදහස්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඒ.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහිව ගොනුකර තිබෙන අල්ලස් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30) නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 189 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 වසරේ මැයි මස 15 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවද සඳහන් කර ඇත.

අල්ලස් කොමිසම ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් යන අය නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අවධියේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට සම්බන්ධ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නඩු නොපවරා සිටීමට උපදෙස් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්