කලාවැවේ ‘රේවත“ විදුලි වැටකට බිලි – දින 68කට අලි ඇතුන් 61ක්, පුද්ගලයින් 24ක් මරුට

කලාවැවේ ‘රේවත“ විදුලි වැටකට බිලි – දින 68කට අලි ඇතුන් 61ක්, පුද්ගලයින් 24ක් මරුට

2021 වසරේ ජනවාරි 01වැනි දින සිට ඊයේ (09) දිනය දක්වා ගත වූ දින 68ක කාලය තුළදී අලි, ඇතුන් 61 දෙනෙකු මරණයට පත්වී තිබෙන අතර මෙම කාලය තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ විසිහතරක්ද සිදුව තිබේ. මෙම කාලය තුළදී වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපය තුළ වන අතර, මෙම කලාපය තුළින් අලි මරණ 17ක් සිදුව ඇත. පසුගිය 2020 වසර තුළදී අලි ඇතුන් 322 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර, එම වසර තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 113ක් සිදුව තිබේ.

මේ අතර කලාවැව හා බලලු වැව රක්ෂිතයේ ‘රේවත“ නමින් ප්‍රසිද්ධ ඇති කැකිරාව, අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා (08) රාත්‍රියේ මියගොස් සිටියදී සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර එම ඇතා අවුරුදු 50ක් 55ක් පමණ වයසැති බවත් කලාවැව සහ බලලු වැව ඇත් පන්තියේ වැඩිමල්ම ඇතා බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති.

මෙම ඇතා මීට පෙර කිසිදු පුද්ගලයෙකුට පහරදීමක් හෝ ඉඩම්වලට පැන වගා හානි සිදු කිරීමක් හෝ පිළිබඳ වාර්තා වී නැතැයිද වනජීවී නිලධාරීහු පවසති.

වසර 50ක පමණ කාලයක් මෙම ඇතා ගල්කිරියාගම, පුබ්බෝගම, කලා බලලු වැව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඇති බවද ඔවුහු කියා සිටිති. අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය, වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් හදිසි මරණ පරීක්ෂණ සිදු කළහ.

මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කලා බලලු වැවට ආඩම්බරකාරයෙකු ලෙසත්, නිතර නිතර බොහෝදෙනා ආරක්ෂා කරන සතෙකු ලෙසත් රේවත ප්‍රසිද්ධ වී සිටි අතර කලාවැවේ ජාතික උද්‍යානයක් කළ ද එහි නිසි ආරක්ෂාවක් නොමැති නිසා මෙම වන සතුන් ගම් වැදීම හේතුවෙන් ඉතා අමානුෂික ආකාරයෙන් මියයන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ අතර විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 25ක් පමණ වන කෙනෙරක් පුත්තලමේදී මිය ගොස් තිබේ.

සෙල්ලකන්දල් රක්ෂිතයට යාබදව පිහිටි සෙල්ලකන්දල් මානවේරිය ගම්මානයේ වගා බිමක එම කෙනෙර මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු වනජීවී නිලධාරී භාරයට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn