කාන්තා පීඩනයෙන් මිදීම සඳහා සමාජ වෙනසකට පෙරට එන්න – අයිතීන් උදෙසා කාන්තාවෝ

කාන්තා පීඩනයෙන් මිදීම සඳහා සමාජ වෙනසකට පෙරට එන්න – අයිතීන් උදෙසා කාන්තාවෝ

110 වන කාන්තා දිනය සමරන අද දවසේ ලෝකවාසී හා ලක් වාසී සියලු පීඩාවට පත් කාන්තාවන්ට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සුබ පැතුම් හා ධෛර්‍යය ප්‍රාර්ථනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“වර්ථමානය වන විට කාන්තා දිනයේ සැබෑ අරමුණු යටපත් වී වාණිජමය හා ලිබරල් ස්ත්‍රීවාදී අරමුණු පෙරට පැමිණීම කණගාටුදායක තත්ත්වයකි. 1908 ඇමරිකාවේ ඇඟලුම් කම්හල් සේවිකාවන් 15000 ට අධික පිරිසක් සාධාරණ වැටුප්, ඡන්ද අයිතිය, වැඩකරන කාලය කෙටි කිරීම හා ළමා ශ්‍රමය නවත්වන ලෙස ඉල්ලා කළ දැවැන්ත උද්ඝෝෂණය කාන්තා දිනය නම් කිරීමට හේතු විය. 1910 කෝපන් හේගන් නුවර පැවති සමාජවාදී කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී ක්ලාරා සෙට්කින් කළ යෝජනාවට අනුව කාන්තා දිනය නම් කෙරිණි.

අද වන විට කාන්තා දිනය නම් කිරීමට මූලික වූ සියලු හේතු යටපත් ව ඇති බව අපට දක්නට ඇත. කාන්තාවන් මුහුණ දෙන එකදු ප්‍රශ්නයකට හෝ විසඳුම් ලබා දීමට පාලකයන් සමත් නොවීම නිසා සමස්ථ කාන්තා පරපුරම දැඩි පීඩනයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාව තුළ ආර්ථික පීඩනය, ගෘහස්ථ හිංසනය, වැඩ බිම්වල පීඩනය,රැකියා උසස්වීම් ගැටලු, අපචාරවලට ගොදුරු වීම වැනි බොහෝ අර්බුදයන්ට මුහුණ දෙන කාන්තාවන් පිරිසක් ඇත. කාන්තාවන්ගේ ඡන්දයෙන් බලයට ආ සෑම පාලකයෙකුටම නැවත කාන්තාවන් සිහි වුණේ මැතිවරණයක් ආසන්නයේ දී පමණක් වීම කණගාටුවට කරුණකි. සුර පුරයක් මවනවා යැයි සිහින පෙන්වා බලයට පත් වූ වර්ථමාන ආණ්ඩුවද පුස්සක් බව දැන් පසක් කොට හමාරය.

කෙසේ වෙතත් එදා ක්ලාරා සෙට්කින් පැවසූ පරිදිම සමාජවාදයෙන් තොරව කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීම සිහිනයක් පමණකි. කාන්තාවන් වන අප සමස්ථ සූරා කෑමට හා පීඩනයට එරෙහිව සටන් කළ යුත්තේ පිරිමින් සමඟ නොව ධනපති ක්‍රමය සමඟ බව අප අවබෝධ කර ගත යුතුය. එසේ අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් පාලකයන්ට බොරු පොරොන්දු දී කාන්තාවන් රැවටීමට කිසි විටෙකත් හැකි නොවනු ඇත. සමස්ථ කාන්තා පීඩනයෙන් මිදීම සඳහා සමාජය වෙනස් කිරීම වෙනුවෙන් මුළු මහත් කාන්තා පරපුර පෙරමුණ ගත යුතුය.” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn