බැඳුම්කර කොල්ලයට වසර 06යි… රනිල්-මහේන්ද්‍රන් තවම නිදැල්ලේ…

බැඳුම්කර කොල්ලයට වසර 06යි… රනිල්-මහේන්ද්‍රන් තවම නිදැල්ලේ…

බැඳුම්කර කොල්ලකරුවන්ට දඬුවම්දීම ඇතුළු මූලික දේශපාලන සටන් පාඨ කීපයක් ඉදිරිපත් කරමින් බලය ලබාගත් වර්තමාන ආණ්ඩුව මේ වන විට එම කොල්ලකරුවන්ට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් නොගෙන දෙවන වසරත් ගෙවී යන අතර එම කොල්ලය සිදුකර 06වෙනි වසරද පසුකර තිබේ. බැඳුම්කර කොල්ලය සිදුකරනු ලැබූවේ 2015 පෙබරවාරි 27 වන දාය.

මෙම කොල්ලය නිසා ඍජුවම රුපියල් කෝට් 1100ක පමණ ජාතික ධනයක් අහිමිවූ අතර සේවක අර්ථසාධක අරමුදල සහ ලංකා බැංකුවට විශාල පාඩුවක් සිදුකරනු ලැබීය. එවකට මහ බැංකුව අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු අතර එහි අධිපති වශයෙන් සිංගප්පූරුවේ සිට ගෙන්වා ගන්නා ලද එරට පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් පත්කරනු ලැබීය.

මෙම කොල්ලය සිදුකර ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට කරුණු හෙළිකිරීමෙන් පසුව අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුට හිතවත් නීතිඥවරුන් කණ්ඩායමකගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණි. ඉන්පසුව ජනාධිපති විමර්ශන කමිටුවක්ද පත්කළ අතර, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව විසින් විමර්ශනයක් සිදුකර කරුණු හෙළිකර ගෙන තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා වෝහාරික විගණනයක් සිදුකර මේ වන විට වැරදිකරුවන් පිළිබඳව සියලුම කරුණු අනාවරණය කරගෙන තිබේ.

එසේ තිබියදී වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛතම ඡන්ද පොරොන්දුවක්ද කඩකරමින් මෙම ආණ්ඩුව යටතේ බැඳුම්කර කොල්ලයේ දෙවන සංවත්සරයත් යෙදී තිබුණද අදාළ චූදිතයන් කිසිවෙකුට විරුද්ධව මේ දක්වා නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්