2013 – 2018 කාලයේ පාසල් 194ක් වසාදමලා

2013 – 2018 කාලයේ පාසල් 194ක් වසාදමලා

2013 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ මෙරට පාසල් 194ක් වසාදමා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව 2013 සිට 2017 දක්වා කාලය තුළදී පාසල් 93ක් වසා දමා ඇති අතර, 2018 වසර තුළදී පමණක් වසා දමා ඇති පාසල් සංඛ්‍යාව 101කි. සිසුන් නොමැතිවීම, රටේ පැවැති වාතාවරණය හා වෙනත් හේතු මත මෙලෙස පාසල් වසා දමා ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් මෙරට තුළ පවතින අතර එම පාසල් රැසක ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවත් එම තත්වය පිළිබඳ සොයා බැලීමට අධ්‍යයනයක් කළ යුතු බවත් ඊට අදාළ සම්පත්දායකයන් ස්වේච්ඡා පදනමින් සහභාගී කරගන්නා ලෙසත් කාරක සභාව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට උපදෙස් දී ඇත.

මේ අතර පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ ‘ළඟම පාසල හොඳම පාසල ‘ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 64,930ක් වෙන්කර තිබූ අතර (2016-2020 කාලය සඳහා) 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට එම මුදලින් රුපියල් මිලියන 31,234,77ක් වැයකර තිබූ බවත්, එම ව්‍යාපෘතිය යටතේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යතාවන් නිසිලෙස අධ්‍යයනය නොකර පාසල්වලට සම්පත් ලබාදී තිබූ බවත් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මීට අමතරව නව පාසලක් පිහිටුවීම සඳහා අවම වශයෙන් අක්කර 02ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය වුවද එම ඉඩ ප්‍රමාණය නොමැති සිසුන් 200ට අඩු පාසල් 25ක් පමණ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පමණක් පවතින බවත් අනාවරණය වී ඇත.

Facebook
Twitter
LinkedIn