මෙරට සිදුවන යතුරුපැදි සොරකම්වල ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර ඊයේ (27) දිනයේදීද එලෙස යතුරුපැදි 06ක් සොරකම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
යතුපැදි කොටස් ගලවා විකුණන ස්ථානයක් ගල්නෑව පොලිස්වසමේ නෑගම ප්‍රදේශයේ දී සොයාගෙන ඇති බවත් එය එලෙස සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් බවට සැක කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (27) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම ස්ථානයේ තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23ක්, අමතර කොටස් වර්ග 17ක්, යතුරුපැදි චැසි දෙකක් සහ එක් යතුරුපැදි එන්ජිමක් සොයාගත් බවය.
එහිදී හමුවූ අංක තහඩු සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව ගල්නෑව පොලීසිය පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියි.
යතුරුපැදි සොරකම් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳ වාර්තා වී ඇති බැවින් යතුරුපැදි ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම්දෙයි.










