ශ්රී මහා බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය සහ විදේශ කටයුතු අමාත්යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන විසින් නීති විරෝධී ලෙස මහජන මුදල් කෝටි ගණනක් ලබාදුන් ජාවාරම්කරුවෙකු වූ ඉමාඩ් ශාඩ් සුබේරි නැමැත්තාට ඇමෙරිකානු අධිකරණය වසර 12ක සිර දඬුවමක් නියම කර තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස ලබා දුන් මුදල් වංචා කිරීම ඉමාඩ් ශාඩ් සුබේරිට එරෙහිව එල්ල වී තිබූ එක් චෝදනාවකි.
යුද්ධයෙන් අනතුරුව ඇමෙරිකාව තුළ ශ්රී ලංකාවේ ප්රතිරූපය ගොඩ නැංවීම පිණිස ඇමෙරිකානු ආණ්ඩුව සමඟ ගනුදෙනු කිරීම වෙනුවෙන් තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කිරීම සඳහා සුබේරි තෝරාගෙන තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රහසිගත මූල්ය කටයුතු භාරව සිටි සජින් වාස් විසිනි.
සජින් වාස් සමඟ එක්ව නීති විරෝධී ලෙසින් 2014 දී මාස හයක කාලයක් තුළ ඩොලර් මිලියන 6.5ක මුදලක් මහ බැංකුවෙන් මුදා හැරීමට අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කොට තිබේ.
ශ්රී ලංකාවේ මූල්ය රෙගුලාසි අනුව එවැනි කටයුත්තකදී මුදල් අනුමත කිරීමේ බලය පවතින්නේ විදේශ අමාත්යාංශයේ ලේකම්වරයාටය. මහ බැංකුවට එසේ මුදල් අනුමත කිරීමේ බලයක් නැත.
එය ඉතා විශාල මුදලක් නම් කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය දීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ යුතුය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු වන, එවකට ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති පදවිය දැරූ තේ ව්යාපාරික ජාලිය වික්රමසූරියද මෙම නීති විරෝධී ගනුදෙනුවට සම්පූර්ණ සහය පළ කොට තිබේ.
මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල්, ජාලිය වික්රමසූරිය සහ සජින් වාස් ගුණවර්ධන කොමිස් මුදලක් ලබාගත්තේද යන්න හෙළි වී නැත.
වොෂින්ටන් නුවර ශ්රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට ජාලිය වික්රමසූරියට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා තිබේ. ඔහු ශ්රී ලංකාවේද වංචා නඩුවක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකි.
මූලාශ්ර timesonline









