දෙවන මහා ලෝක යුධ සමයේ නාසීන් විසින් සමුල ඝාතණය කල ජනතාව සැමරේ!

දෙවන මහා ලෝක යුධ සමයේ නාසීන් විසින් සමුල ඝාතණය කල ජනතාව සැමරේ!

1929 දී සිදුවූ ආර්ථික අර්බුදයෙන් පසුව යුරෝපය පුරා ඇතිවූ ජනතා හා කම්කරු සටන් උග්‍ර වීමත් සමග සම්ප්‍රදායික ධනේෂ්වර පක්ෂ වලට තිබුණු එකම විසඳුම වුයේ රුසියානු විප්ලවයෙන් ආශ්වාදය ලබා නැගී එන කොමියුනිස්ට් පක්ෂ මර්ධනය සඳහා පැසිස්ට්වාදීන්ට සහයෝගය දීම පමණි. 1933 දී ජර්මනියේ හිට්ලර් වාන්ස්ලර්වරයා බවට පත්වනුයේ ඒ අනුවය. ලොව පුරා හමා ගිය විරැකියාව, දුගීබව, ආර්ථික අවපාතයට විසඳුම ලෙස ආර්ථික ආරක්ෂණවාදය(proetectionism) ජර්මන් සමාජයට හිට්ලර් හඳුන්වා දෙන ලදී.

එහෙත් අධි නිෂ්පාදනය මත ඉල්ලුම හා සැපයුම අතර සමතුලිතතාවය බිඳ වැටීම නිසා තම නිෂ්පාදන විකුණා ගැනීම සඳහා නව වෙළඳ පළවල් අවශ්‍ය විණි. ඒ අනුව නව වෙළඳපළවල් සොයාගැනීමට අසල්වැසි රාජ්‍යයන් ආක්‍රමණය කිරීම දියත් වනුයේ ඒ අනුවය. එක් අතකින් යුරෝපීය කොටස් වෙළඳ පළවල් තුල ආයෝජන වලින් බහුතරයක හිමිකරුවන් වු යුදෙව් ධනපතියන් ඉවත් කර ඔවුන්ගේ ධනය සොරා ගැනීමටත් අනෙක් අතින් වමේ පක්ෂ සම්භවයෙන් යුදෙව්වෙක් වූ කාල් මාක්ස්ගේ අනුගාමිකයින් හා අරගලකරුවන් වීමත් මත ඔවුන් සියළු දෙනා සමූල ඝාතනය(final solution) කලයුතු බවට හිට්ලර් තීරණය කරන ලදි. ඒ අනුව විශාල සිර කඳවුරු 6ක් ජර්මනියේ හා නැගෙනහිර යුරෝපයේ ගොඩ නගන ලදී.

1940 අප්‍රියෙල් 27 වැනිදා පෝලන්තයේ හිම්ලර්ගේ නායකත්වයෙන් පෝලන්තයේ සිලේසි හි දී හෙක්ටයාර් 170ක් පුරා විහිදෙන ලෙස Auschwitz සිර කඳවුර එයින් විශාලතම සිර කඳවුර ලෙස ස්ථානගත කරන ලදී. මෙම කඳවුර තුල යුදෙව්වන්, යුධ සිරකරුවන්, රුසියානු හා පෝලන්ත කොමියුනිස්ට්වාදීන්, බුද්ධිමතුන්, දාර්ශණිකයින්, අබ්බගාතයින්, සමලිංගිකයින්, මන්ද බුද්ධිකයින්, ගණිකාවන්, සුළු ජාතින් වූ රෝම්(gitans) හා සිගාන්( tsigane) (මොවුන් සම්භවයෙන් ඉන්දියානුවන් වේ, 5 වන සියවසේදී පමණ ඉන්දියාවේ රාජස්ථාන් සිට යුරෝපයට සංක්‍රමණය වූ පිරිසක් ලෙස සැලකේ) සිරගත කෙරිණි.

සිරගත කරන ලද පුද්ගලයින්හට දරුණු වදහිංසාවලට, පහරදීම්වලට, රෝගාබාධවලට, කුසගින්නට මුහුණ දීමට සිදුවිණි. යුදෙව්(960000) හා gitans හෝ tsiganes(21000) කාන්තාවන්, මහල්ලන්, කුඩා දරුවන්, යුධ සෙබළුන් ඇතුළු මිලියන 1,3 ජනතාවක් ගෑස් කාමර වල දමා මරාදමන ලදී. ඒ අතර සෝවියට් රතු හමුදාවේ 15000ක් හා පෝලන්ත සමාජවාදීන් 15000ක් ද අයත්වේ. සියළුම ජාතීන්ට අයත් බිලිඳුන් සමගින් කුඩා දරුවන් 2320000ක පිරිසක්ද ගෑස් කාමර තුල සිරකර මරා දමා ඇත.

1945 ජනවාරි 27 වැනිදා සෝවියට් රතු හමුදාව විසින් Auschwitz සිර කඳවුරේ ජිවතුන් අතර සිටි සිරකරුවන් 7000ක් මුදාගන්නා ලදී. මෙම මුදා ගැනීමේ දිනය ලොව පුරා නාසි ජර්මනිය දෙවන ලෝක මහා යුධ සමයේ සම්භවය, ජාතිකත්වය, ආගම, හා ලිංගික චර්යාව මත ඝාතණය කරනු දැමු ජනතාව සැමරීමේ දිනයක්(Holocaust Remembrance Day) ලෙස සලකා සමරනු ලැබේ.

වසර 76 ක් පිරෙන මෙම දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එජා සංවිධානයේ මහා ලේකම් António Guterres, අනතුරු හඟවනුයේ ලොව පුරා නාසිවාදී ප්‍රචාරයන් ඉතා දරුණු ලෙස හිස ඔසවමින් පවතින බවයි.

“ඇමරිකාවේ සිට යුරෝපය දක්වා සුදු ජාතිවාදය (white supremacist) ඔස්සේ ගොඩ නැගුනු නව නාසිවාදී සංවිධාන සමාජ ජාලා යොදා ගනිමින් යුදෙව් විරෝධී, සංක්‍රමික ප්‍රජාවන් විරෝධී, ඉස්ලාම් විරෝධී, සමලිංගික විරෝධී ප්‍රචාර ජාලා උත්සන්න කරමින් සිටි. ඒ තුලින් සාමකාමී ජනතාව මුලා කොට භිෂණය හා වෛයිරය ජාතින් අතර වපුරුවා ගැටුම් නිර්මාණය කරමින් සිටි. ජාතිවාදයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව වැක්සීන නොමැත. ඇත්තේ මෙම ජාතිවාදී අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව සත්‍යය සමග අත්වැල් බැඳගැනීම පමණි” ඔහුගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ

Facebook
Twitter
LinkedIn