චෝගම් සභාපති ගෙදර නවතී

පසුගිය 22 වැනිදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ආරම්භ වූ 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවට එහි වත්මන් සභාපතිවරයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහභාගී නොවීය. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ සභාපතිධූරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය නොවැම්බර් මාසයේදී පත් විය. ඉන්පසුව පැවැත්වෙන එම මණ්ඩලයට අයත් රටවල පළමු ක්‍රීඩා උළෙල මෙය වේ.

ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගී නොවීම පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරුන් පරස්පර මත දක්වමින් සිටී. විදේශකටයුතු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා මහතා බීබීසී සංදේශයට ප්‍රකාශකර තිබුණේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ප්‍රමාණවත් පරිදි සළසා නොතිබීම නිසා එයට සහභාගී නොවන බවය. නමුත් ස්කෝට්ලන්තයට ගොස් සිටින ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා බීබීසී සංදේශයට පවසා තිබුණේ ඌව පළාත් සභා මැතිවරණයට සූදානම් වන නිසා සහභාගී නොවන බවය.

එම සමාරම්භක උළෙලට නිල වශයෙන් එහි සභාපතිවරයා සහභාගී වියයුතු බවද බ්‍රිතාන්‍ය මහරැජිණ සම්ප්‍රදායානුකූලව එයට සහභාගී වන බවද විශ්ලේෂකයන් පවසයි. මෙවර මහරැජිණ පමණක් එයට සහභාගී විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්  සියයකට අධික පිරිසක් සහභාගී වී සිටිති.

Facebook
Twitter
LinkedIn