මහින්ද දේශප්‍රේමී හැව අරී

ඇමරිකාව සමඟ 2008 වසරේදී හොර රහසේ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාවේ ඔත්තු ජාලයට සම්බන්ධ පුද්ගලයකුද ඇතුළුව ඇධිරාජ්‍යවාදී නියෝජිතයන් තිදෙනෙකුගෙන් විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ක්‍රියාකර ඇත. ඇමරිකාව සමඟ ආරක්ෂ ගිවිසුමට අත්සන් තැබීම මෙන්ම මෙම විශේෂඥ උපදේශකයන් පත්කිරීමද කැබිනට් මණ්ඩලයට පවා හොර රහසේ සිදුකර ඇත.  පසුගිය ජූලි 15 වනදා නිකුත් කළ අංක 1871/18 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි 15 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කළද ජූලි 17 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලයට පවා ඒ පිළිබදව දැනුම්දී නැත.

එම උපදේශකයන් වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු වන ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් සහ ඇමරිකන් පුරවැසියකු වන මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් යන තිදෙනාය. මේ අතරින් ඇමරිකන් පුරවැසිභාවය ලබා සිටින මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් ඇමරිකානු ඔත්තුජාලයේ චරපුරුෂයකු බවද අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සොයා බැලීමට පත් කර සිටින විශේෂඥයන් තිදෙනෙකු සහ සාමාජිකයන් දොලොස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවට ප්‍රතිඋත්තරයක් ලෙස උක්ත චෝදනා සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර සිටින මැක්ස්වෙල් පරණගම කොමිසමට උපදෙස් දීම සඳහා මෙම බටහිර ජාතිකයන් තිදෙනා පත්කර සිටී.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හට මෙරටට පැමිණ මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා අවසර නොදීය යුතු බවට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරගත් ජනාධිපතිවරයා තම දේශපාලන නිරුවත හෙළිකරමින් මෙම බටහිර ජාතිකයන් තිදෙනා විශේෂ උපදේශකයන් වශයෙන් පත්කර තිබේ.

Facebook
Twitter
LinkedIn