ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ පරාජයන් පිළිගැනීමට සූදාන්ම නැති ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, කෙන්යාව වැනි රාජ්‍යවල දේශපාලන නායකයන් මෙන් හැසිරෙමින් සිටින බව අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනියක මෙන්ම ප්‍රකට නීතිවේදිනියකද වන මේරි රොබින්සන් මහත්මිය පවසයි.
ඇමරිකා එක්සත් ජනපද මැතිවරණයේ මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති අති බහුතරයක් ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් තමන් පරාජය ලැබූ බව තවමත් පිළිගැනීමට සූදානම් නැති බව ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයේන වැඩිදුරටත් අදහස් දක්වමින් අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනියක වන මේරි රොබින්සන් මහත්මිය පවසන්නේ ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම සම්බන්ධයෙන් දැඩිලෙස කණස්සල්ලට පත්වන බවය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමරිකාව නැවතත් ආපස්සට ගමන් කරමින් සිටින බවත් මෙම තත්වය සැළකිය හැක්කේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, කෙන්යාව වැනි අස්ථාවර රාජ්‍යවල දේශපාලන නායකයන් පරාජය පිළිගැනීමට අකමැතිවීම හා සමාන තත්වයක් ලෙස බවත් මේරි රොබින්සන් පවසයි.
මැතිවරණ වංචා සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ට්‍රම්ප් පරාජය භාර ගැනීම කළයුතු සුදුසුම දේ බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අයර්ලන්ත හිටපු ජනාධිපතිනිය, හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කළ එල්ඩර්ස් නමැති සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එම සංවිධානයෙ ලොව පුරා සාමය, යුක්තිය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි.










