වරායට කරන දේ අපි කියලා නැහැ… ජේවීපී ඒක කොහොම දැනගත්තද මම දන්නේ නැහැ… නාමල්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදෙන්නේ ඉන්දියාවටද චීනයටද යන්න ආණ්ඩුව මෙතෙක් තීරණය කර නොමැති බවත් ජවිපෙ මෙය කෙසේ දැනත්තේදැයි යන්න තමන් නොදන්නා බවත් පැවසූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ආණ්ඩුව යම්කිසි තීරණයකට එළඹෙන්නේ නම් ඒ වරායේ දියුණුව තකා බවත් ප්‍රකාශ කරයි.

ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ පසුගිය 14 වනදා මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය. “නැහැ, ඉන්දියාවට දෙනවද චීනයට දෙනවද කියන කාරණයක් අපි සඳහන් කරලා නැහැ. ඉතිං කියන ජනතා විමුක්ති පෙරමුණ අපි කියන සාකච්ඡා එකක්වත් හිටියෙත් නෑ. මං දන්නෑ කොහොමද ඒ කට්ටිය දන්නෙ කියලා, නැත්තං ඒ කට්ටිය උපකල්පනය කරන්නෙ කියලා. හැබැයි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වරායේ දියුණුව තකා ගන්න තීන්දුවක් මිසක් වරාය අගාධයට ගෙනියන්න අපි තීන්දු ගන්නෙ නැහැ ගිය ආණ්ඩුව වගේ”

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 2020 ජුනි 09 ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මගින් වරාය අධිකාරිය මගින් නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට මුදල් නොමැති බවත් එයට සෘජු ආයෝජන අවශ්‍ය බවත් ඒ අනුව ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික් සමාගමට එය අවුරුදු 35කට පැවරීය යුතු බවටත් යෝජනා කර තිබිණි.

එම සමාගම වෙනුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම වරාය අධිකාරිය සමග ඒකාබද්ධව මෙම කටයුත්තට සම්බන්ධවන බවද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්